Sunday, September 18, 2016

නිර්මල බෞද්ධයාට අනුභවයට සුදුසු නමුත් හැමෝටම ගැටළු සහගත මොකද්ද මේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය කියන්නේ..?

ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය පිලිබඳ ඉගෙනීමට පෙර පව හෙවත් අකුසල කර්මය යනු කුමක්දැයි සරලව දත යුතුය. සීහ සේනාපති සූත්‍රයේත්, සුප්පියා උපාසිකාවගේ කතාවෙත් දැක්වෙන පවත්ත මාංසය යනු කුමක්දැයි නිවැරදිව දත යුතුය.


පව හෙවත් අකුසල කර්මය තනි වාක්‍ය ඛණ්ඩයකින් ඉගෙන ගන්න 
"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" 
භික්ෂුණි කර්මය නම් චේතනාවමය  
රාගය මෝහය හෝ ද්වේශය පදනම් කොටගෙන විවිධ සිතුවිලි සිතේ පහලවේ. මෙම සිතුවිලි චිත්ත සන්තානය තුල තැන්පත් වේ. එනම් අභිධර්මයට අනුව භවය සකස් කරයි. මෙසේ චිත්ත සන්තානය තුල තැම්පත් වන කිලිටි සිතුවිලි ආත්මයෙන් ආත්මයට රැගෙන යයි. මෙම සිතුවිලි වල ප්‍රබල දුබල බව මත මේ ආත්මයේදී හෝ වෙනත් ආත්මයකදී ඊට ප්‍රති විපාක ලැබෙනබව බෞද්ධ අපේ අත්දැකීමයි. 

පවත්ත මාංසය 
ආහාර අනුභව කරන පුද්ගලයාගේ චේතනාවකින් තොරව ප්‍රාණඝාතයක් හෝ ස්වභාවිකව මරුන සතෙකුගේ මාංස පවත්ත මාංස ලෙස ගැනේ. එය තුන් ආකාර වේ.  
  1. වෙළඳ පොලේ විකිණීමට ඇති මස්

    විකිණීමට ඇති මස් අයිති සතා මැරෙන මොහොත වනවිට එම මස් මිලට ගන්නා තැනැත්තා  කිසිඳු සිතුවිල්ලකින් එම සතාගේ මරණයට දායක වී නොමැත. සතා මරුන පසු ඔහු එම මස් මිලට ගන්නා අවස්ථාව වන විට ප්‍රාණය නිරුද්ධ වී තිබුණි. ඒ වනවිට නිරුද්ධ වූ ප්‍රාණය වෙනත් සතෙකුගේ කයක් සාදාගෙන එම ශරීරයට ඇතුලත් වීද තිබිය හැකියි. එබැවින් මස් කැබැල්ලක සතෙකු නැත. ඔහු නිවසට ගෙන එන්නේ සතෙකු නොවේ. එබැවින් මිලට ගෙන අනුභවයේදී කිසිඳු පාපයක් සිදු නොවේ.

    සත්ව පුද්ගල භාවයක් ඇතිවන්නේ නාම රූප යන දෙකොටසේම එකතුවෙනි. සතා මැරෙන මොහොතේදීම නාම කොටස ඉවත්වේ. ඊට පසුව ඉතිරි වන්නේ රූප කොටස පමණි. රූප කොටස තුල සත්වයෙක් නැත.

    එවිට නිර්මල බෞද්ධයා එම මස් කැබැල්ල තුල සතෙකු නොදකී. මස් කැබැල්ල තුල සතරමහා ධාතු පමණක් දකී. එනම් අපෝ තේජෝ වයෝ පඨවි හෙවත් ඝන, ද්‍රව,වායු හා උෂ්ණ යන පදාර්ථයේ අවස්ථා පමණක් දකී. අල ගෙඩියකුත් මසුත් අතර වෙනසක් ඔහුට නැත. දෙකේම ඇත්තේ එකම මූලධාතු පමණි. මාර්ඝ ඵල ලැබූ හෝ ඒ මගට අවතීර්ණ වූ බෞද්ධයා එම සතරමහා ධාතුවල ඇති අනියත බව දකී. එනම් ඇතිවෙන නැතිවෙන හා ඇතිවීමේ නැතිවීමේ වේගය නිසා පවතින ආකාරය දකී. මේ ආකාරයෙන් එම පුද්ගලයා ධාතු මනසිකාරය කරයි. ධාතු මනසිකාරය බුදුන් වහන්සේ දේශනාකරන ලද සතර සතිපට්ටානයට අයිති භාවනාවකි. මෙය තම පංච උපාදනස්කන්දය හරහා ත්‍රිලක්ෂණයට ගලපා බලයි. මේ අයුරින් තමා කන ආහාරය මස් උවද එළවලු වුවද මාර්ඝඵල ලබා ගැනීම පිණිස යොදා ගනී.

    නිර්මල බුදු දහම හොඳින් දත් බෞද්ධයා එම ආහාර හොඳින් රසකර සතුටින් අනුභව කරයි. බුදු දහමේ හරය ගිහි පැවිදි අවස්ථා දෙක තුලම සතුටයි. ගිහියන් ආමිස සතුටක් ලබන අතර මාර්ඝඵල ලාබී පැවිද්දන් නිරාමිස සතුටක් ලබයි. බුදු දහමේ පහස ලබන නිර්මල ගිහි බෞද්ධයා මස්මාංස නොකන සතුටු නොවන නිඝන්ට කුලයට අයත් බමුණෙක් නොවේ. නිර්මල බෞද්ධයාට තමා ආසා කරන ආහාර අනුභව කරමින් විනෝද වෙමින් ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරමින් මේ ආත්මයේදීම සෝතාපන්න විය හැකි ආකාරය එනම් පළමු නිවන ලැබිය හැකි ආකාරය බුදුරජානන් වහන්සේ පැහැදිලිව දේශනා කොට ඇත.

    නමුත් අසෘතවත් පෘතග්ජනයා මස් කැබැල්ල තුල සතෙකු දකී. ප්‍රාණය නිරුද්ධ වී ඇති මස් කැබැල්ල තුල සතරමහා ධාතු නොදැක සතෙකු දැකීම මිත්‍යාදෘෂ්ටියකි. සතා මරුනේ  තමා කන නිසා බව සිතමින් පිළිකුලක් ඇති කරගනී. පිලිකුල යනු ද්වේශයේ ස්වරූපයකි. එම ද්වේශ සිතුවිල්ල චිත්ත සන්තානයේ තැන්පත් කර ගනී. මෙන් අකුසල අනුසයක් හෙවත් කුඩා පාපයක් ඇති කරගනී. නැතහොත් වෙනත් අයෙකු මස් කන ආකාරය ගැන පිළිකුලක් ඇති කර ගනී. එනම් ද්වේශ අනුසයක් චිත්ත සන්තානය තුල ඇති කර ගනී. මෙය නිවනට බාදාවකි.

    තවද ඔහු මස් ආහාරයට ගන්නා විට ඔහු මෙසේ සිතයි. "මම මේ මස් කන නිසා තමයි ඝාතකයා සතා මරන්නේ. එනිසා වක්‍රානුකූලව මම ප්‍රාණඝාතයට හවුල් වෙනවා අනුබල දෙනවා" යනුවෙනි. මෙම සිතුවිල්ල බුදු දහමට අනුව මිත්‍යා දෘෂ්ඨියකි. නිකන් මිත්‍යා දෘෂ්ඨියක් නොව අතිශය භයානක නියත මිත්‍යා දෘෂ්ඨියකි. කිසිඳු ආත්මයක නිවන් අවභෝද නොවන තරම් භයානකය. ඊට හේතුව කිසිවෙකු අතින් අකාලයේ යම් සත්වයෙකු මිය යන්නේ එම සතාගේ කර්මය ඵලදීමෙන්ම පමණි. එබැවින් මේ සිතුවිල්ල ඇති වන්නේ ඔහු කාර්මඵල විශ්වාස නොකරන බැවිනි. කර්මඵල විශ්වාස නොකරන්නේ නම් ඔහු බෞද්ධයෙක් නොවේ. කර්මඵල විශ්වාසක් කරන බෞද්ධයෙකු නම් සිතන්නේ

    "ලොව පහළවන සියලුම සත්වයෝ යම්කිසි දිනෙක ස්වාභාවිකව මරණයට පත්වේ. නැතිනම් පෙර කරන ලද කර්මයක් නිසා තවෙකෙකු විසින් එනම් පෙර වෛරක්කාරයෙකු විසින් කර්මානුරූපීව මරාදැමීම නිසා  මරණයට පත්වේ. එම සතා මරණයට පත් වූයේ මාගේ කිසිඳු චේතනාවක හෝ අනුබලයක ප්‍රතිඵලයක් ලෙස නොවේ. එම සතාගේ කර්මයට අනුරූපීවයි."

    යනුවෙනි. ඒ බව ඔහු හොඳින් දනී.
     

    මේ අයුරින් යමෙක් කර්මඵල විශ්වාශ නොකරන්නේද ඔහු දශ වස්තුක නියත මිත්‍යා දෘෂ්ඨියට වැටේ. ඔහුට කිසිදිනෙක නිවන් මගට අවතීර්ණ නොවේ.
          
  2. සතෙකු විසින් මරාදමා ඉතිරිකොට ඇති මස් හා 
  3. ස්වාභාවිකව මරණයට පත්වූ සතෙකුගේ මස් 

ඉහත තුන් ආකාරයෙන් ලැබෙන මස්  "පවත්ත මාංස" ලෙස දක්වා ඒවා ආහාරයට ගැනීම වරදක් නොවන බව බුදු රජානන් වහන්සේ පැහැදිලිව සීහ සේනාපති සුත්‍රයේද  ජීවක සුත්‍රයේද විස්තර කොට ඇත. ඔබගේ චේතනාවකින් තොරව එම සතුන් ඝාතනය වී ඇති නිසා ඒවා ආහාරයෙන් කිසිඳු පාපයක් සිදු නොවේ. චේතනාවක් නොමැතිව කිසිඳු කර්මයක් පාපයක් සිදු නොවේ. බුදුන් වහන්සේ එය ප්‍රකාශ කරන්නේ "චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි - කර්මය නම් භික්ෂුණි  චේතනාවමය " යනුවෙනි. 


තවද අභිධර්මයට අනුව ප්‍රාණය නිරුද්ධ වූ විට මස් කැබැල්ලක ඇත්තේ සතර මහා ධාතු පමණි. එනම් නාම කොටස මස් කැබැල්ලක නැත. එම නාම කොටස ඉවත් වී ඇත. ඇත්තේ රූප කොටස පමණි. එම රූප කොටස ආහාරකොට නොගන්නේ නම් ඔබට කිසිඳු එළවලුවක් හෝ ආහාරයට ගත නොහැක. එම සියල්ලේම ඇත්තේ රූප කොටස් පමණි.    



ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය 
අදිට්ඨං ... අසූතං ... අපරිසංඛිතං 
මේක තමයි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය විස්තර කරන වචන තුන.

අදිට්ඨං 
අදිට්ඨං කියන්නේ සතෙකු මරනවා දැකීම නොවෙයි. දැකීම යන්න සඳහා මාඝදී වචනය දස්සනෙන යන්නයි. මෙතන "දස්සනේන" එනම් දැකීම කියන වචනය භාවිතා කරලා නැහැ. දිට්ඨි කියන්නේ  දෘෂ්ඨිය. එනම් මාංස අනුභවය පිළිබඳව දෘෂ්ඨිගත වීම හෙවත් විවිධ දෘෂ්ඨි වල එල්බ ගෙන සිටීම. එවිට අදිට්ඨං යනුවෙන් විස්තර වෙන්නේ ආහාරය පිළිබඳව එසේ වැරදි දෘෂ්ඨි වල එල්බ ගෙන නොසිටීම යන්නයි. කෙටියෙන් විස්තර කළහොත්, ඕනෑම සත්වයෙකුගේ මරණය කර්මඵල අනුව සිදුවන බව දැන ගැනීමයි. එසේ මරණයට පත්වී ප්‍රාණය නිරුද්ධ වූ පසු එම මස් කැබැල්ලක සතෙකු නොදැකිය යුතු බව ප්‍රත්‍යක්ෂ කොට ගෙන සිටීමයි. එතැන ඇත්තේ සතරමහා ධාතු පමණක් බව අවභෝද කොට ගෙන සිටීමයි. නාම කොටස ඉවත්ව රූප කොටස පමණක් මස් කැබැල්ල තුල ඇතිබව අවභෝද කරගැනීමයි.  

අසූතං
මාඝදී භාෂාවෙන් සූත කියන්නේ ශ්‍රවණය කරනවා යනුයි. අසූතං කියන්නේ ශ්‍රවණය නොකිරීමයි. තමා වෙනුවෙන් එම සතා මරණ ලදැයි ශ්‍රවණය නොකිරීමයි. නොඅසා තිබීමයි.  

අපරිසංඛිතං
අපරිසංඛිතං කියන්නේ - අ+ පරි+ සංඛිතං - "පරි" කියන්නේ පූර්ණ වශයෙන් යන්නයි. " සංඛිතං" කියන්නේ රාග ද්වේශ මෝහ යන තුනෙන් සසරට සම්බන්ද වන ලද යන්නයි. "අ" යන්න මුලට යෙදු විට ප්‍රකාශ වන්නේ එසේ නොවිය යුතු බවයි. එවිට අපරිසංඛිතං කියන්නේ පූර්ණ වශයෙන්ම සසර දිගුකරන ගමනට සම්බන්ද වීම මෙම මස් ආහාරයට ගැනීම නිසා සිදු නොවිය යුතු බවයි. එසේ නොවන ලෙස ආහාර ගන්න ආකාරයත් බුදුන් වහන්සේ දේශනා කොට තිබෙනවා. ඊට කියන්නේ ප්‍රත්‍යාවෙක්ෂණය කියල. එනම් ආහාර ගන්නා විට "මේ අහාරය මා ගන්නේ මාගේ ශරීරය පවත්වා ගැනීම සඳහා පමණක්" යයි නැවත නැවත සිතීමයි. රස තෘෂ්ණාව පහල කර නොගැනීමයි. ආහාරය වෙත රාගයෙන් ඇලීම හෝ ද්වේශයෙන් ගැටීම සිදු කර නොගැනීමයි. ගන්නා ආහාරය පිලිබඳ රාගයෙන් ඇලීමත් ද්වේශයෙන් ගැටීමත් සිදුවන ආකාරය නිවැරදිව දැන ගැනීම ඉතාම වැදගත්. 

අපි හිතමු මෙම මාංස ආහාරයට ගන්න අවස්තාවේදී ඒ ගැන දැඩි ආශාවක් ඇතිවී "මෙම මස් ඉතාම රසවත්, මම හෙටත් කොහොම හරි කන්න ඕනේ" හෝ "මේ මස් ඉතාම රසවත්, එයින් ටිකක් මම භාර්යාවටත් රැගෙන යන්න ඕනේ"  යනුවෙන් සිතිවිල්ලක් ඇති වුවහොත් එතන අකුසල අනුසයක් එනම් කුඩා පවක් ඇතිවෙනවා. එය ඉතාම කුඩා අකුසලයක් උවත් සසර ගමන කුඩා ප්‍රමාණයකින් හෝ දිගු කරන්න එම සිතුවිල්ලත් ඇති. මේ අයුරින්ම මෙම මස් ආහාරයට ගැනීමේදී ගැටීමක් එනම් ද්වේශයක් ඇති කරගන්නත් පුළුවන්. අපි හිතමු මෙහෙම සිතුවිල්ලක් ඇති වුවහොත් "මේ ගෑනි අද මස් උයල තියෙනවා කිසිම රසයක් නැහැ" යනුවෙන්. එයින්ද අකුසල අනුසයක් උපදිනවා. මේ අයුරින් ඇලීම හෝ ගැටීම සිදුවීම නිසා පවා සිදුවීම මස් ආහාරය පිණිස ගන්නා විට පමණක් නොවෙයි ඕනෑම ආහාරයක් ගැනීමේදී සිදුවෙන්න ඉඩ තියෙනවා. එනිසා අපරිසංඛිතං යන්න මස් වලට පමණක් නොවෙයි ඕනෑම ආහාරයකට අදාලයි.   

නමුත් ගිහියෙකුට පමණක් නොවෙයි සෝතාපන්න වූ කෙනෙකුටවත් අපරිසංඛිතං පිලිබන්දව මෙතරම් ගැඹුරින් ක්‍රියාවට යෙදවීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට හේතුව සෝතාපන්න වූ කෙනෙකු වුවත් කාම රාග හා පටිඝ මුලුමුනිම ඉවත් කර නැති නිසා. සෝතාපන්න වූ කෙනෙකු වුවත් කාම රාග පටිඝ ඉවත් කරලා තියෙන්නේ හතරෙන් එක් කොටසක් පමණයි. එබැවින් සෝතාපන්න වූ කෙනෙකුට වුවද ආහාරය නිසා අකුසල් අනුසයක් ඇතිවීම වලක්වන්න බැහැ. නමුත් එය කිසිසේත් නිවනට බාදාවක් නොවන්නේ සෝතාපන්න වීම සඳහා අවශ්‍ය වන්නේ සක්ඛාය දිට්ඨියෙන් මිදීම, විචිකිච්චාවෙන් මිදීම හා සීලබ්බත පරාමාසයෙන් මිදීම පමණක් නිසා. එබැවින් සෝතාපන්න වීමට එනම් පළමු නිවන ලැබීමට අපරිසංඛිතං අදාළ වෙන්නේ නැහැ. සකෘදාගාමී වීමේදීවත් අදාළ වෙන්නේ නැහැ. අපරිසංඛිතං මුලුමුනිම අදාළ වෙන්නේ අනාගාමී ඵලය ලබීමට උත්සාහ කරන කෙනෙකුට පමණයි. එබැවින් ආර්ය මාර්ඝයේ යන ගිහියෙකුට ඕන විදියට රසකරලා මස් මාංස හෝ වෙන ඕනෙම ආහාරයක් අනුභවය නිවන් මගට බාදාවක් වන්නේ නැහැ. ආර්ය මාර්ඝයේ යන ගිහියෙක් ඕනෑම ආහාරයක් උපරිමයෙන් රසවිදීමෙන් විනෝද වීමට සතුටු වීමට නිර්මල බුදු දහම කිසිඳු බාදාවක් ඇතිකරන ධර්මයක් නොවෙයි. 

මස්මාංස වල ඇති ගුණය ශරීරයට ශාක ආහාර වලින් ලබාගැනීම ඉතාම අපහසු කාර්යක්. අරිහත් භාවය ලැබූ රහතන් වහන්සේ කෙනෙකුට උවත් මස් මාංස වලදීම ඉහත විස්තර කිරීම අනුව නිවැරදි බව මේවන විට පහසුවෙන් ප්‍රත්ත්‍යක්ෂ වී ඇතුවාට සැකයක් නැහැ. එබැවින් ලැබුවාවූ උතුම් මනුෂ්‍යත්වය නිරෝගීව සිටීම සඳහා අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පවත්ත මාංසයකින් ලබාගෙන නිරෝගිව ගත කිරීමට සෑම බෞද්ධයෙක්ම තිර අධිෂ්ඨානයක් ඇති කර ගත යුතුම වෙයි. ඊට හේතුව මනුස්ස ආත්මයක් නැවත ලබාගැනීම අතිශයින් දුර්ලභ කාර්යක් බැවිනි. 

එබැවින් බුදුන් නොවදාළ දහම් දෙසන මිත්‍යාදෘෂ්ඨික පුද්ගලයින්ගේ දේශනාවලට සවන්දී මස්මාංස ආහාර කොට නොගෙන සිට මේ ලැබුවාවූ මිනිසත් බව රෝගීවීමෙන් විනාශ කර නොගන්නා ලෙස නිර්මල බෞද්ධ ප්‍රජාවගෙන් කාරුණිකව හා දැඩිව ඉල්ලා සිටිමු. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය ශරීරයට අවශ්‍ය ප්‍රමාණවලින් අනුභව කොට නිරෝගීවී නිවන් අවබෝධ කරගැනීම සඳහා දීර්ඝ ආයුෂ ලබාගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.     
================================== මස් මාංස අනුභවය පිළිබඳව අභිධර්මානුකූල විවරණයන් කියවන්න..

මස්මාංස අනුභවය පිලිබඳ ත්‍රිපිටක ගවේෂණය 

ප්‍රාණ ඝාතය යන්න පාලි මූල මාගධී භාෂාවේ භාවිතා වන්නේ හනෙය්ය, ඝාථ, මරිස්ස යන වචන තුනම පමණි. එම වචන තුන ගෑවිලාවත් නැති පානාතිපාතා යන වචනය වැරදි ලෙස ගෙනහැර දැක්වීම නිසා අද බුදු දහම සැහැල්ලුවට ලක්වී ඇති ආකාරය තේරුම් ගැනීමට අලුත්ගම ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ බැහැ දකින්න. උන්වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද පහත දැක්වෙන උපුටාගැනීම කියවන්න.

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Nimal Jayasinghe ගෞතම බුදුන් වහන්සේ පිඬු සිගා වැඩීමෙන් තම ආහාරය සරිකර ගත් බව අවිවාදිතය.ආරාධිතව දිළිදු පැලේ සිට රජ මැදුර දක්වාම දනට වැඩි බවද සියල්ලෝම පිලිගනී.එකල විසූ වෙනත් ආගමික මතධාරීන් විවිධාකාරයේ ආහාර චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කල බව එකල සමාජ ඉතිහාසය තොරතුරු දක්වයි.අවුරුදු දහස් ගණනක් අතිතයට දිවයන එම ආහාර සංස්කෘතීන් අදද භාරතයේ මෙන්ම ලොව පුරාම විවිධාකාරයෙන් ජනතාව විසින් භාවිතයට ගණු ලබයි.මාංශ ආහාරයට ගැනීම මිනිසාගේ පරිණාමයේ සිටම අද දක්වාම පැවතෙන්නකි.බුදුන් වහන්සේ නිදහස් මතධාරියෙකි.කිසිදු ආකාරයක බලපෑමක් මඟින් සිය අදහස් සමාජගත කිරිමට උන්වහන්සේ පෙළඹුනේ නැත. ඒ අනුව උන්වහන්සේ ආහාර උදෙසා විශේෂ නීති රීති පැනවූයේය,යන අදහස පිළිගත නොහැක.බුද්ධ කාලයේ වුවද උන්වහන්සේගේ අදහස් විවිධ වෙනස්වීම් ඇතුව සමාජගත වන්නට ඇත.සමාජයට ඉදිරිපත් වන එක අදහසක් විවිධ වේශයෙන් සංශෝධිතව පැතිරෙන්නට ඇත. සමාජයේ ස්වරූපය එසේය. එය අදට මෙන්ම හෙටටද සිදු වන්නේය.මස් මාංශ බිත්තර ආහාරයට ගැනීම පාපකාරිය යන අදහස සමාජ ගතය. එසේ නොවන්නේය යන්නද සමාජ ගතය. පාපයක් වුවත් නොවූවත් මිනිස් අභිලාෂයන් පරිදි ඒ ඒ ආහාර සංස්කෘතීන් ගොඩ නැගී ඇත. රටක පවත්නා පොදු නීතිය අනුව මිනිසුන් ජීවත්විය යුතුය. එයට අපිද යටත්වී සිටිමු. නිදහස් මිනිසෙක් ලෙස රටේ නීතියට මම යටත් වූවත් ආගමික නිතීන්ට යටත්වීමට මට කිසිදු අවශ්‍යතාවයක් නැත.ආගමක් නොමැතිව මේ ලෞකික ලෝකයේ මිනිසාට ජීවත් විය හැක.සියලු කටයුතු කර ගත හැක.ආගම නිතියක් නොවන තැන එයට යටත්වී තම තමන්ගේ ආහාර සංස්කෘතීන් ඒ අතරට දමා සිරකරුවන් වීමට මිනිසුන් කැමති නැත. සූත්‍ර දේශනාවලින් හෝ විනය නිති වලින් හෝ පෙන්වා ඇතැයි තර්ක විතර්ක ඉදිරිපත් කලත් ප්‍රායෝගික නූතන සමාජය තුල අපි ජීවත් විය යුතුය.තමා කැමති ආකාරයේ ආහාර ගැනිමට මිනිසාට හැකිය. ඒවා ආගමික නීතියය. බුද්දාගමේ නිතිය ලෙස අර්ථ දැක්විම අන්තවාදිය.හෑගොඩ විපපස්සී හාමුදුරුවෝද දක්වා ඇත්තේ මේ නිදහස් සමාජය සහ එහි ක්‍රියාකාරී නිදහස තුල ඇති පොදු දැක්මය.නිදහසේ නොසිතන්නෝ හැමවිටම අන්තවාදය කරපින්නා ගනී. කිසිදු ආකාරයක අන්තවාදයක් තුල ජිවත්විය නොහැකි බව අත්දැකිමෙන් අපි දනිමු.බුදුදහම අන්තවාදි නොවන නිසා සෑම ජාතියකටම අයත් මිනිසුන්ට බුදුදහම අනුව කටයුතු කලහැකිය. එයයි විශිෂ්ඨත්වය. එවැනි ආගමක නිර්මාතෘවරයා මස් මාළු හෝ වෙනත් ආහාරයක් පිළිබදව අන්තවාදී අන්තගාමී අදහසක් දැරුවේ යයි සිතිය නොහැක.බුදුන් සමයේ සිටම දේවදත්ත අන්තවාදය නිර්මාණය වූවාසේම අදදක්වාම බෞද්ධ දර්ශනයේද අන්තවාදී ස්වරූප දක්නට ඇත.අපට නිදහසේ ජීවත්වීමට බෞද්ධ දර්ශනයේ ඇති උපදේශනාත්මක භාවය පමණක් වැදගත් වන අතර අන් ආගම් සේ අන්තවාදයක් කරා යන බුද්ධාගමක අවශ්‍යතාවයක් නැත.එවැනි අන්තවාදයක් ප්‍රාර්තනා කරන්නෝ එසේ කලාට අපට කම් නැත.අපට අවශ්‍ය සමාජයේ නිදහසේ ජිවත්විමේ අයිතිය පමණය

    ReplyDelete