Thursday, October 20, 2016

බෞද්ධයා නොදත් නිර්වානගාමී පංච සීලය

කිං සීලං? 
පහාණ සීලං 
වේරමණී සීලං 
චේතනා සීලං 
සංවර සීලං 
අවිතික්කම සීලංතී!

අද අප සමාදන් වන පංච සීලය බුදුරජාණන්ගේ කාලයටත් පෙර සිට පැවතුනි. එය කුරු ආගමේ හඳුන්වාදීමකි. මෙහි කමෙසුමෙච්චාචාරා හා සුරාමෙරය යන සිල්පද වලට බුදුන් වහන්සේ බෞද්ධ අර්ථ කථනය නිවැරදිව ලබා දෙන ලදී. එම සීලයද නිවන් මගට යම්කිසි දායකත්වයක් දක්වයි. එය වේරමණී හෙවත් වැළකීමේ සීලය ලෙස දක්වා තිබේ. නමුත් ඒ නිවන් මග නොවේ. නිවනට මග වන්නේ බුදුන් වහන්සේ විසින් හඳුන්වාදෙන ලද පංච සීලයයි. 


ආර්ය පුද්ගලයාගේ හෙවත් සෝතාපන්න මාර්ඝයට අවතීර්ණ වූ පුද්ගලයාගේ හා සෝතාපන්න පුද්ගලයාගේ  පංච සීලයයයි ඉහත ගාථාවෙන් දැක්වූයේ.

කළ්‍යණ මිත්‍ර ඇසුරකින් සද්ධර්මය ශ්‍රවණය තුලින් තම තමන්ගේ නුවණින් මෙනෙහි කොට ධර්මාවබෝධය ලබන තැනැත්තා හට ත්‍රිලක්ෂණය වැටහී මේ ලෝකය අසාර ලෙස දකී.  ඒ පුද්ගලයා හට පරපත්‍ය රහිතයි හෙවත් අන්‍ය ආධාර අනවශ්‍යයයි දස මාර සේනා පැමිණියත් එම පුද්ගලයා නිවනින්ම සසර කෙලවර කිරීම අනිවාර්යයි. ඔහු ආපසු හැරවීමට හේතු නොමැති බව බුදු පියාණන් වහන්සේ ‍දේශනා කොට තිබේ.  මෙවැනි පුද්ගලයින්ගෙන් ලෝකයට කිසිවිටක අවැඩක් සිදුවන්නේද නැත. 

පහාන සීලය: මෙ‍ම පුද්ගලයා‍ තුල සතර අපාගත වීමට නියමිත යම් වැඩපිලිවෙලක් ති‍බෙන්නේද එවැනි වැඩපිලිවෙලක් කිසිදිනක ඒ සිත තුල හටගන්නේ නැහැ.  එය පහ වූවා. පහ වූවාමය.  නැවත නොනැගේ.  එයයි පහාන සීල ලෙසින් පෙන්වා දුන්නේ.

වේරමනී සීලය: එලෙසින් සතර අපාගත වීමට හේතුවන යම් වැඩපිලිවෙලක් ඉන්පසු රමණය කරමින් හෙවත් ඇසුරුකරමින් නැවත එවැනි දේ ඇසුරු කිරීමට එම පුද්ගලයාට යෙදෙන්නේ නැහැ.  එය වේරමණී සීලයයි.

චේතනා සීලය: සතර අපාගත වීමට හේතුවන යම් පාප සිතුවිල්ලක් ඇත්ද සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ සිතෙහි කෙදිනකවත් හට ගන්නේ නැහැ.  එය චේතනා සීලයයි. 

සංවර සීලය: සංවර සීල ලෙසින් පෙන්වා දී තිබෙන්නේ එලෙසින් සතර අපාගත වීමට හේතුවන පාපයන් කිරීම තුලින් ඇතිවන යම් අසංවරතාවයක් ඇත්ද ඒ සිතෙහි හටගන්නේ නැහැ යන්නයි. 

අවිතික්කම සීලය: මෙම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කෙදිනක හෝ නිවන් අවබෝධය තුලින් මේ සසර ගමන කෙලවර කරන තුරු මේ ලෙසින් කියන්නා වූ සීල ගුණය බිදෙන්නේ නැහැ... අත්හැරෙන්නේ නැහැ... එය ප්‍රතික්‍රමණය හෙවත් ඉවත්වී යන්නේ නැහැ කියලා අවිතික්කම සීල ලෙසින් පෙන්වා දුන්නා.

මෙන්න මේ කියන පංච සීලයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා අරිය කාන්ත සීලයෙන් යුක්තයි.  මෙන්න මේ ලෙසින් පෙන්වා දෙන පංච සීලය සමාදන්විය නොහැකියි යන්න ඔබටම වැටහෙනවා ඇති.  සතර අපාගත වීමට නියමිත වැඩපිලිවෙල මිස සියළු පවින් නිදොස්වූ පුද්ගලයෙක් ලෙස මෙහිදී සෝතාපන්න පුද්ගලයා හදුන්වාදී  නොමැති බව ඔබ විසින් අවබෝධ කරගත යුතුමය.  බුදු පියාණන්ගේ ප්‍රතිමා අසලට ගොස් හෝ ගරුතර සංඝරත්නය අසලදී හෝ කොතැනකදී හෝ වාක්‍ය පහක් කටපාඩම් කරගෙන ඒ තුල ගත කරන කාලය තුල සමාදන් වන වත තුලින් මෙම සීලය නොපිහිටන බවද ඔබ විසින්‍ ඔබේම මනසින් විමසා දත යුතුය. 

Saturday, October 15, 2016

බෞද්ධයා මුලා කරන ආයුෂ අඩුකරන රස තන්හාව


ආහාර කෙරේ රස තන්හාව මාහා පාපයක්ද...
මේක නිවවනට බාදාවක්...
බෞද්ධයා ආහාර ගැනීමේදී අනිත්‍ය මෙනෙහි කරමින් කන්න ඕනෙද...?
නිවන් මග යන නිර්මල බෞද්ධයාට රසවත් ආහාර වේලක් ගැන හිතන්න බැරිද? 
නිවැරදිව දැන ගනිමු...

රස තන්හාව කුමක් ද යන්න නිවැරදිව තේරුම් ගැනීම එතරම් බැරෑරුම් ප්‍රශ්නයක් නොවෙයි. 

අපේ බෞද්ධයින්ට බුදු දහම ගැන හරි අවබෝධය තවමත් මදි. මස් මාළු කනකොට රස තෘශ්නාව ඇතිවෙනවා එය විශාල පවක්. මස් මාළු කන්නේ පෙරේතයෝ .. මේ වගෙත් සමහර අය හුවා දක්වනවා.     

රස තෘෂ්ණාව ඇති වන්නේ මස් මාළු වලට පමණද? මෙහෙමත් ප්‍රශ්නයක් තියෙනවා.
ඕනෑම රසවත් ආහාරයක් අනුභව කරන විට අනිත්‍ය මෙනෙහි නොකලොත් නිවන් මග ඇහිරෙනවා. මේ තවත් සමහර අය හිතන විදිය. 

මස්මාලු ආසාවෙන් කෑම පෙරේත කමක්. මීපැණි දාපු අයිස් ක්‍රීම් එකක් එහෙම කෑවට පෙරේත කමක් නෙවෙයි..

මේ පරස්පරවිරෝධිතාව තමයි බුදුදහම ගැන අද සමාජගත කර තියෙන තත්වය.

මීට ධර්මානුකූල පිළිතුර මේ විදියට ආරම්භ කරමු. දස සංයෝජන ධර්ම වලට අනුව රස තෘෂ්ණාව සම්පූර්ණයෙන් නැතිවෙන්නේ අනාගාමී තත්වයේදී. කෑම කන්නේ අනිත්‍ය හිත හිතා නම් කවදාවත් ගිහියෙකුට ආහාරයක් රස කරලා කාල විනෝද වෙන්න සතුටු වෙන්න බෑ. මොකද නිවන් යන්න බැහැනේ. එතකොට ගිහි බෞද්ධයෝ ඉන්න ඕනේ බමුණෝ වගේ. මේක මොන තරම් විහිළු කතාවක්ද? සර්වඥතා ඥානයෙන් හෙබි අප මහා බුදු රජාණන් වහන්සේ මේ වගේ ගිහි සමාජයට නොගැලපෙන පරස්පර විරෝධී දහමක් දේශනා කරයිද? 

බුදු දහම විහිළුවක් බවට පත් කරලා. රස තෘෂ්ණාව ගැන සෑම බෞද්ධකම හරියට ඉගෙන ගන්න ඕනේ මේ නිසයි. එහෙම නොවුනොත් මහා විනාශයක් මේ බුදු දහමට වෙන්නේ. බෞද්ධයාට සතුටින් ගිහි ජීවිතය ගත කරන්න බැරිවෙනවා. අඩු තරමේ රස කරලා අඹ ගෙඩියක්වත් කන්න මේ අසෘතවත් බෞද්ධයාට බැරි වෙනවා.

රස තෘෂ්ණාව පිලිබඳ සරල සිද්ධාන්තය මොකද්ද? මේක ලෙහෙසියෙන්ම තේරුම් ගන්න. දස සංයෝජන ධර්ම දෙස බලන්න.
පහත රූප සටහන විශාල කර බලන්න.


ඉහතින් දැක්වෙන රූපයේ ඇති දස සංයෝජන වල කාමරාග මුළුමුනින්ම ඉවත් වන්නේ අනාගාමී තත්වයේදී බව දකින්න. රස තෘෂ්ණාව ඇතුලත් වන්නේ  කාමරාග චෛතසික ඝණයටයි. එබැවින් රස තෘශ්නාව මුළුමුනින්ම ඉවත් වන්නේ අනාගාමී වීමෙන් පසුව බව පැහැදිලි වනු ඇත.

මෙම දස සංයෝජන ධර්මවල 5 කෙරෙහි අවධානය යොමු කරන්න.
1). සක්කාය දිඨිය - සබ්බ කය මම/මගේ/ මට අයිති ලෙස ගැනීම. සෝතාපන්නයෙදී මුලුමුනින්ම දුරු වේ.

2) කංකා විචිකිච්ජා - තෙරුවන් ගැන, පෙර භව සහ පසු භව ගැන සැක දුරුවිම හා සිතේ තැන්පත්ව තිබූ කෙලෙස් වලට වහල් වීම. - සෝතාපන්නයෙදී මුලුමුනින්ම දුරු වේ

3) සීලබ්බත පරාමාස - දැඩි සිල් ව්‍රත වලින් නිවණ් ලැබිය හැකි බව විශ්වාස කිරීම (උදා: දුෂ්කර ක්‍රියා කිරීමෙන් නිවන සොයා ගත හැකි බව, නිර්වස්ත්‍රව සිල් රැකීමෙන් නිවන ලබා ගහට හැකියි සිතීම, නිර්මානසය) - සෝතාපන්නයෙදී මුලුමුනින්ම දුරු වේ.

4) පටිඝ - තරහ වයිරය ක්‍රෝදය - සෝතාපන්න වුවද මුළුමුනින් දුරු නොවේ.

5) කාමරාග - කැමති දේ ලබන කාම ලෝකයන්හි ඉපදීමට ඇති ආශාව (එනම් මිනිස් සහ දිව්‍ය ලොකයන්හි ඉපදීමට ඇති ආශාව) -
කාමරාග සෝතාපන්න වුවද මුළුමුනින් දුරු නොවේ. 


රස තෘෂ්ණාව අයත් වන්නේ මෙම කාමරාග  සංයෝජනයටයි

සෝතාපන්න මාර්ගයට අවතීර්ණ වීමට රස තෘෂ්ණාව කිසිඳු බාදාවක් නොමැත. මේ ගැන හොඳින් තේරුම් ගැනීමට නම් මේ ටිකත් කියවන්න.
සොතාපන්නය යනු පළමු නිර්වාණයයි. සොතාපන්න වීම ඵලය වන අතර සෝතාපන්න මාර්ඝය එහි ගමන් මගයි. සෝතාපන්න මාර්ගයට අවතීර්ණ වූ පුද්ගලයා

1) සුතා, 2.) දතා, 3) විචතා 4) පරිචිතා 5)මනසි කරෝතීවා
යන තුනෙන් ලඟා කරගෙන ඇත්තේ පළමු දෙක පමණි.

සත්පුරුශයෙකුගෙන් ධර්මය ඔහු ශ්‍රවණය කර අසාදැනගෙන තිබේ එනම් "සුතා" වේ. ඉන්පසු ඔහු ධර්මය දකි . එනම් ධර්මය නැවත නැවත සිතින් මෙනෙහි කිරීම නිසා එනම් යෝනිසෝ මනසිකාරය කිරීමෙන් ධර්මය දැක ඇති නිසා "දතා" වේ. නමුත් ඔහු එය තම සිත තුල පුරුදු පුහුණු කිරීම මදි නිසා "විචතා, පරිචිතා, මනසි කරෝතීවා" හෙවත් කරන තත්වයන්ට පත්ව නොමැත.

සෝතාපන්න මාර්ඝයට අවතීර්ණ වන මෙම පුද්ගලයා ධම්මානු ධම්ම පටිපදාව එනම් සිතින් ධර්මයේ හැසිරෙන ආකාරය පුරුදු පුහුණු කරයි. නමුත් එය නිරන්තරයෙන් ස්වාභාවිකව නොවේ. ආයාසයෙනි. මෙය වීර්ය චෛතසිකය වැඩීමයි. නමුත් ඔහු නිරන්තරයෙන්ම ස්වාභාවිකව සිතින් ධර්මයේ හැසිරෙන තත්වයට පත්වී නොමැත. ඔහු කාමරාග පටිඝ ඇතුළු පහලින් ඇති සියලු සංයෝජන ඔහු සතුව ඇත. නමුත් ඔහු පළමු නිර්වාණය වන සොතාපන්නය ලැබීමේ මාර්ගයට අවතීර්ණ වී ඇත. දින හතත් වසර හතක් ඇතුලත අවශ්‍යනම් සෝතාපන්න වීමේ අවස්තාව උදාකරගෙන ඇත.

සෝතාපන්න වීමට පෙර රස තන්හාව තිබුනද නොතිබුණද සෝතාපන්න වීමෙන් පසු එය ක්‍රමානුකූලව ටිකෙන් ටික අඩුවේ. සකෘදාගාමි මාර්ගයේද, සකෘදාගාමී ඵලය ලැබීමෙන්ද තවදුරත් රස තන්හාව අඩුවී අනාගාමී ඵලය ලැබීමෙන් පසු නැත්තටම නැතිවී යයි. මේ වනවිට ලැබෙන ඕනෑම ආහාරයකින් ජීවත් වීමට චිත්ත ශක්තිය ලැබී තිබේ. පෝෂණයට අදාළ මූලධාතු ලැබෙන ඕනෑම ආහාරයකින් නිපදවා ගනී. 

6,7,9,10 අවශ්‍ය නම් කියවන්න. වැදගත්ම දේ දැන ගැනීමට අවසාන පරිච්චේදය දෙක කියවන්න.

6) රූප රාග - රූපයක් සහිත බ්‍රහ්මලෝකයන්හි යාමට ඇති ආශාව

7) අරූප රාග -රූපයක් රහිත බ්‍රහ්මලෝකයන්හි යාමට ඇති ආශාව වීම

8)මාන - ත්‍රිවිද මාන, එනම් තමන් අන්‍යයන්ට වඩා උසස්ය, පහත්ය, නැතිනම් අන්‍යයෙකු හා සමය යන මතය දුරු වීම - අනාගාමී වුවද මුළු මුනින් දුරු නොවේ.

9) උද්ධච්චය - සිතේ නොසන්සුන්තාවය

10) අවිදය්‍යා - කෙටියෙන් කියතොත් මෝහය දුරු වීම, එනම් මේ ලෝකය දුකය , ඉපදිම දුකය , ලෙඩවීම දුකය , මහලු වීම දුකක්ය, මරණය දුකය බව වැටහීම , මෙ සියලු දුකින් මිදිය හැකි තැනක් ලොකයේ හෝ විශ්වයේ නැති බව

තමා රිසි ලෙස ආහාර ගෙන එයින් වින්දනයක් ආශ්වාදයක් ලැබීම සෝතාපන්න මාර්ඝයට අවතීර්ණ වීමට කිසිඳු බාදාවක් නොමැති බව නිර්මල බෞද්ධයා දනී. ඒ රස තෘශ්නාව පිලිබඳ නිවරදී ධර්මය ඔහු දන්නා බැවිනි. රස තෘෂ්ණාව තමාට ඇතිවූ බව ඔහුට දැනේ. 

චිත්ත ශක්තිය හොදින් දියුණු කල පසු ආහාර නැතිව වුවද බොහෝ කල් ජීවත් විය හැකිය. පෝෂ්‍ය පදාර්ථ ආහාරයෙන් නොලබා ජීවත් වීමට තරම් ගිහි ජීවිතයේදී චිත්ත ශක්තිය ප්‍රමාණවත් නොවේ. එබැවින් නිවැරදි සංඝටක ශරීරයට ලැබෙන පරිදි පෝෂ්‍ය දායක අහාර ගත යුතුය. එබැවින් එය රස තන්හාවක් ලෙස දැක්විය නොයුතුය. ඒ නිවනට බාදාවක් නොවන නිසාය. එබැවින්  රස තෘෂ්ණාව හුවා දක්වමින් හෝ වැරදි අවබෝදයකින් චිත්ත ශක්තිය දියුණු නොකරන ලද ගිහි ජීවිතයේදී, පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර අනුභවය ප්‍රතික්ෂේප නොකරයි. එනිසා ඔහු ගිහි ජීවිතයේ ආයුෂ අඩු කර නොගනී. පරමායුෂ ලබයි. නිරෝගීව ලබා ගන්නා පරම ආයුෂ සෝතාපන්න වීම සඳහාම යොදා ගනී.

රස තෘෂ්ණාවට හසුවන දේ ප්‍රතික්ෂේප කොට කරෝතීවා තත්වයට පත්විය යුත්තේ සෝතාපන්න වීමෙන් පසුව සකෘදාගාමී මාර්ගයට එළඹීම සඳාහා බව දනී. රස තෘෂ්ණාව පහල වන්නේ මස් මාළු කිරි බිත්තර වලට පමනක් නොවන බවත් අනෙකුත් ඕනෑම ආහාරයකට එක සමාන ලෙස රස තෘශ්නාව පහළවිය හැකි බව දනී. රස තෘෂ්ණාව පළමු නිර්වානය වන සොතාපන්නයට කිසිඳු බාදාවක් නොවන බවත් ප්‍රත්‍යක්ෂ කොටගෙන තිබේ. ඔහු නිර්මාංස වෘතය වැනි නිඝන්ට මිත්‍යා දෘෂ්ඨිනට නොවැටේ. හිතුන විට ඕනෑම ආහාරයක් අනුභව කරන අතර රස තෘෂ්ණාවක් පහලවූ විට ඒ බව දනී. එසේ දැන ඉන් ලැබෙන උපරිම ආශ්වාදය ලබයි. නමුත් අවශ්‍ය විටදී රස තන්හාව ප්‍රහීන කරන විදර්ශනා භාවනා වල නියැලෙ. එනම් මැදුම් පිළිවෙත අනුගමනය කරයි. මෙලෙසින් ඔහු කිසිවිටෙකත් සොතාපන්නයට බාදාවක් වන සීලබ්බත පරාමාසයට නොවැටේ.

Wednesday, October 12, 2016

පින් පව් හා කුසල් අකුසල් අතර වෙනස හඳුනා ගනිමු. මස් මාළු අනුභවය පිලිබඳ දෘෂ්ඨිය නිවැරදි කර ගනිමු

අදිට්ඨං කියන්නේ සතෙකු මරනවා දැකීම නොවෙයි. දැකීම යන්න සඳහා මාඝදී වචනය දස්සනෙන යන්නයි. මෙතන "දස්සනේන" එනම් දැකීම කියන වචනය භාවිතා කරලා නැහැ. දිට්ඨි කියන්නේ  දෘෂ්ඨිය. එනම් මාංස අනුභවය පිළිබඳව දෘෂ්ඨිගත වීම හෙවත් විවිධ දෘෂ්ඨි වල එල්බ ගෙන සිටීම. එවිට අදිට්ඨං යනුවෙන් විස්තර වෙන්නේ ආහාරය පිළිබඳව එසේ වැරදි දෘෂ්ඨි වල එල්බ ගෙන නොසිටීම යන්නයි. කෙටියෙන් විස්තර කළහොත්, ඕනෑම සත්වයෙකුගේ මරණය කර්මඵල අනුව සිදුවන බව දැන ගැනීමයි. එසේ මරණයට පත්වී ප්‍රාණය නිරුද්ධ වූ පසු එම මස් කැබැල්ලක සතෙකු නොදැකිය යුතු බව ප්‍රත්‍යක්ෂ කොට ගෙන සිටීමයි. එතැන ඇත්තේ සතරමහා ධාතු පමණක් බව අවභෝද කොට ගෙන සිටීමයි. නාම කොටස ඉවත්ව රූප කොටස පමණක් මස් කැබැල්ල තුල ඇතිබව අවභෝද කරගැනීමයි.

"චේතනාහන් භික්කවේ කම්මං වදාමි - භික්ෂුණි කර්මය නම් චේතනාවමය".

පව්-පින් කුසල්-අකුසල් ලෙස දැක්වෙන දස කුසල්-අකුසල්  සිදු කරන්නේ සිතින් කයෙන් හා වචනයෙනි. මෙහිදී පව්-පින් සිදු කරන්නේ කයෙන් හා වචනයෙන් වන අතර අකුසල-කුසල සිදු කරන්නේ චෛතසිකවලිනි. මෙවැනි චෛතසික 1500 කි.  

එබැවින් එක් අයෙකු විසින් කරන පව-පින හෝ කුසල-අකුසලය තව කෙනෙකුට හුවමාරු කල නොහැකිය. පින්-පව් හා කුසල්-අකුසල් තවමත් බෞද්ධයා පටලවාගෙන සිටී. පින් කිරීමෙන් පසු එම පින් අනුමෝදන් කල යුතුය. එවිට කුසල් චෛතසික ඇතිවන බැවින් කරන ලද පින කුසලයක් බවට හැරවිය හැකිය. ඒ අයුරින් පිනක් කිරීම නිසා චිත්ත සන්තානයේ තැන්පත් වන පුණ්‍ය කර්ම බීජය කුසල ධර්මයක් බවට හැරවිය හැකිය. එය ධර්මතාවයකි. එවිට පින නිසා ඇතිවූ පුණ්‍ය කර්ම බීජ කිසිවක් චිත්ත සන්තානයේ නොරැඳේ.

නිවන් මග යන්නෙකු පින් කල යුතුය. ඒ එම පින් කුසල ධර්ම බවට පත් කොට සිත පිරිසිදු කිරීම සඳහාය. ඒ සිතේ පුණ්‍ය-පාප කර්ම බීජ ඉවත් කිරීමට පුරුද්දක් ඇති කිරීම සඳහාය. නිවන් මග වැටහුණු ආර්ය ශ්‍රාවකයා පුණ්‍ය කර්මයක් හෝ සිතේ තැන්පත් නොකරයි. පින හා පව දෙකම නිවනට බාදාවක් බැවිනි. එනම් පින් කලද ඒවා තමා සන්තකයේ තබා නොගනී. උදාහරණයක් ලෙස සතෙකු මැරීම කායික-වාචික සිදුකරන පවක් බැවින් එම ස්ථානයේ සිට ක්‍රියාවෙන් හෝ වාචිකව ඊට සහාය නොදුන්නේනම් ප්‍රාණඝාතයට අනුබල දිය නොහැකිය. මේ අයුරින් මස් මාංස අනුභවය පිලිබඳ දෘෂ්ඨිය නිවැරදි කොටගත යුතුය. 

කර්මය නම් චේතනාවමයි. එක් අයෙකුගේ චේතනාවක් තවකෙනෙකුට මාරු විය නොහැක. එසේ නම්  ඔබ මස් මිලදී ගනී.  එම මස් වෙනුවෙන් කව්රුන් හෝ එම සතා මරණ අවස්ථාවේ එම පාපය කිරීමට ඔබ චේතනාවක් පහල කර නොමැත. එනිසා ඔබ ප්‍රාණඝාතයට හසු නොවේ. ඔබ කඩෙන් මස් මිලදී ගන්නා මොහොතේදී  එම මරුන සතා මැරීම පිණිසද වාචිකව ඔබ අනුබල දී නොමැත. එනම් එම සතා මැරීමට අනුබල දෙන චේතනාවක් පහල වී නොමැත. බුදු දහම අනුව  එනිසා අවස්ථා දෙකේදීම කර්මයක් සිදු නොවේ.   

දස අකුසල් (dasa akusal)

1. පානාතිපාතය 

පානාතිපාතය යනු සත්වයෙකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නොදී යම්කිසි උපක්‍රමයකින් අතරකදී විනාශ කිරීම ය. ප්‍රාණඝාත අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

පණ ඇති සත්ත්වයෙක් වීම
පණ ඇති සත්ත්වයෙක් බව දැන සිටීම
මැරීමේ චේතනාව (කැමැත්ත)
මරන්නට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම
එම උපක්‍රමය හෝ උත්සාහය නිසා එම සත්ත්වයාගේ මරණය සිදු වීම


2. අදින්නාදානය

අදින්නාදානය යනු අනුන්ට අයත් වස්තුවක්, හිමියාට හොරෙන් හෝ ඔහු රැවටීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම ය. අදත්තාදාන අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

අන්සතු වස්තුවක් වීම
අන්සතු වස්තුවක් බව දැන සිටීම
එම වස්තුව සොරකම් කිරීමේ චේතනාව (කැමැත්ත)
එම වස්තුව සොරකම් කිරීමට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම
එම වස්තුව සොරකම් කිරීම

3. කාමමිත්‍යාචාරය

කාමමිත්‍යාචාරය යනු සමාජ චාරිත්‍රයට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. කාමමිත්‍යාචාර අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

සේවනය නොකළ යුතු ස්ත්‍රියෙකු හෝ පුරුෂයෙකු වීම
සේවනය කිරීමේ චේතනාව (කැමැත්ත)
සේවනය සඳහා උත්සහ කිරීම
සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම


4. මුසාවාදය

මුසාවාදය යනු අනුන් මුළා කිරීමේ අදහසින් අසත්‍ය පැවසීම ය. මුසාවාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

කියන කරුණ අසත්‍යයක් වීම
අනුන් රැවටීමේ චේතනාව
එම අසත්‍යය කරුණ ඇඟවීමට උත්සහ දැරීම
කියන ලද කරුණ ඇසූ පුද්ගලයා විසන් තේරුම් ගැනීම


5. පිශුනාවාචය

පිශුනාවාචය යනු අසන්නාට තමා ප්‍රියයෙකු වී, අනෙකෙකු අප්‍රියයෙකු වන ආකාරයේ වචන ප්‍රකාශ කිරීම ය. එනම් කේළාම් කීම. පිශුනාවාච අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

භේද කිරීම සඳහා පුද්ගලයෙක් සිටීම
ඔහු හා වෙනත් කෙනෙකු භේද කිරීමේ චේතනාව
ඔවුන් භේද කිරීම සඳහා යමක් කීම
ඇසූ තැනැත්තා විසින් එය තේරුම් ගැනීම


6. පරුෂාවාචය

පරුෂාවාචය යනු අසන්නාගේ සිත රිදවීම සඳහා ප්‍රකාශ කරන ලද වචන ය. පරුෂාවාච අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

සිත රිදවීම සඳහා පුද්ගලයෙක් සිටීම
ක්‍රෝධ සහගත සිත් ඇති වීම
සිත රිදවන වචන ප්‍රකාශ කිරීම


7. සම්ප්‍රප්පලාපය

සම්ප්‍රප්පලාපය යනු මෙලොව, පරලොව යහපත සඳහා හේතු නොවන, කෙලෙස් වැඩි වීමට හා කාලය නාස්ති කිරීමට හේතු වන වචන ය. සම්ප්‍රප්පලාප අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

කියන්නාට හා අසන්නන්ට ප්‍රයෝජයක් නොවන කථාවක් වීම
එබඳු කථාවක් කීම


8. අභිද්‍යාව

අභිද්‍යාව යනු අන්සතු දෑ අයිතිකර ගැනීමට සිතීම ය. එනම් දැඩි ලෝභය යි. අභිද්‍යා අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

අන් සතු වස්තුවක් වීම
එය අයත් කර ගැනීමට සිතීම.


9. ව්‍යාපාදය

ව්‍යාපාදය යනු අනුන්ගේ විනාශය පැතීම ය. ව්‍යාපාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

අන්‍ය සත්ත්වයෙකු වීම
ඔහුගේ විනාශය පැතීම


10. මිත්‍යාදෘෂ්ටිය

මිත්‍යාදෘෂ්ටිය යනු වැරදි මතයන් සත්‍ය ලෙස පිළිගැනීම ය. මිත්‍යාදෘෂ්ටි අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

ගන්නාවූ දෘෂ්ටිය වැරදි වීම
එය සත්‍යය වශයෙන් පිළිගැනීම

Friday, October 7, 2016

මස්‌ මාංශ අනුභවය පවක්‌ද!



රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ
හෑගොඩ විපස්‌සී හිමි

මස්‌මාංශ අනුභවය පිළිබඳව සමාජයේ විවිධ මත පවතී. කෙනෙක්‌ මස්‌මාංශ අනුභවය පවට අනුබල දීමක්‌ යෑයිද ඒ නිසා මස්‌ මාංශ අනුභවය පවක්‌ යෑයි ද තර්ක කරති. කෙසේ හෝ වේවා මේ තත්ත්වය හමුවේ අසරණ වන බෞද්ධ පින්වතුන්ට මෙහි සැබෑ තත්ත්වය පහදා දීම මෙම ලිපියේ අරමුණයි. 

උභතෝකෝටික ප්‍රශ්නයක්‌ යනු කෙළවරවල් දෙකක්‌ ඇති ප්‍රශ්නයකි. මස්‌ මාංශ අනුභවය පිළිබඳවද බෞද්ධ පින්වතුන් අද මුහුණ දී සිටිනුයේ උභතෝකෝටික ප්‍රශ්නයකට යෑයි කීවොත් නිවැරැදිය.

කෙනෙක්‌ මස්‌මාංශ අනුභවය අකුසල කර්මයක්‌ යෑයි පවසති. තවත් කෙනෙක්‌ පවසනුයේ මස්‌ මාංශ අනුභවය වරදක්‌ නොවන බවයි. මස්‌මාංශ අනුභවය පවක්‌ යෑයි කියමින් ඇතැම්හු ආවේගශීලීව කටයුතු කරන ආකාරයක්‌ ද දක්‌නට ලැබේ. මෙම පිරිස විනය පිටකය බුද්ධ දේශනාවක්‌ නොවන බවට ප්‍රතික්‍ෂේප කරන තත්ත්වයට පත්වී සිටිනවා. මෙය කනගාටුවට කරුණකි.

මෙම ප්‍රශ්නයේදී තවත් සමහරෙක්‌ බුදුරජාණන් වහන්සේගේ දේශනා තමන්ට රුචි ආකාරයෙන් අර්ථ දක්‌වන ආකාරයක්‌ දැකිය හැකියි.

කෙසේ හෝ වේවා මස්‌ මාංශ අනුභවය පිළිබඳව කෙනෙක්‌ අපගෙන් හොඳද නරකද කියා සෘජු ලෙස විමසීමක්‌ කළහොත් බරපතල ප්‍රශ්නයක්‌ ගොඩනැඟෙනවා. එහිදී අපට දීමට ඇති උත්තරය වනුයේ මස්‌ කෑම නරක බවයි. එහෙත් මස්‌ මාංශ අනුභවය ප්‍රාණඝාත අකුසලයත් සමඟ පටලවා ගත යුතු නැහැ.

කෙනෙක්‌ අපගෙන් මස්‌ මාංශ අනුභවය පිළිබඳව බුද්ධ දේශනාව කුමක්‌ද කියා විමසන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලු සත්ත්වයන්ට මෛත්‍රිය කරන ලෙසයි. ඒ පිළිබඳව සංවාදයක්‌ නැහැ. එයයි අපට ඊට දීමට ඇති උත්තරය. කුරා කූඹියාට පවා මෛත්‍රිය කරන ලෙසයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ පිළිබඳව අපට කිසිදු විවාදයක්‌ නැහැ. 

නමුත් අපට ප්‍රශ්නයක්‌ තියෙනවා. මාංශ අනුභවය පවක්‌ යෑයි කියමින් එය සමාජගත කරන්න උත්සාහ දරන පිරිස්‌ අතර ඒ සඳහා ඉදිරිපත් කරන්නේ කිසිදු සිද්ධාන්තයක්‌ නැති පුහු තර්ක නිසා බෞද්ධයා නොමඟට යනවා. අතරමං වෙනවා. එයයි අපට තියෙන ප්‍රශ්නය.

මාංශ භක්‍ෂණය පිළිබඳව සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් ගොඩක්‌ කරුණු සඳහන් වෙනවා. මජ්ජිම නිකායේ සඳහන් ජීවක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ත්‍රිකෝටික පාරිශුද්ධියක්‌ පිළිබඳව. ඉන් අදහස්‌ කළේ කොන් තුනක්‌ පිරිසිදු මාංශයන් අනුභව කළාට කමක්‌ නැති බවයි. 

දිට්‌ඨං. සූතං පරිසංකිතං යනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙම කාරණයයි.

තමන් සතකු මරණවා දුටුවා නම්, සැක සිතුණා නම් එසේම එම සතා මැරුවේ ඔබ නිසා නම් එම මස්‌ වැළඳීමෙන් වළකින ලෙසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එසේනම් මෙතැනදී ප්‍රශ්නයක්‌ ගොඩනැඟෙනවා. එසේ නොවන මසක්‌ අනුභව කළාට වරදක්‌ නැත්ද කියා. ඇත්ත වශයෙන් ඒ පදනමින් නොවෙයි, බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කළේ.. තමන් යම් මාංශයක්‌ අනුභව කිරීමෙන් පසුව සැකයක්‌ ඇති වී මානසික බිඳවැටීමක්‌ ඇති වුවහොත් මානසිකව පීඩාවට ලක්‌විය හැකියි. තමන් එම මාංශය අනුභව කිරීමෙන් පවක්‌ සිදු වුණාද යන පසුතැවීමකට වුවද ලක්‌විය හැකිය. එම තත්ත්වයෙන් මිදීම සඳහායි බුදුරජාණන් වහන්සේ මෙවැනි දේශනාවක්‌ කළේ. මේ තත්ත්වය පදනම් කරගෙන කෙනෙක්‌ කියනවා නම් මේකෙන් තොර යමක්‌ අනුභව කිරීම වරදක්‌ නැහැ කියලා.......... එයත් නොවෙයි මින් අදහස්‌ කරන්නේ.... සාමාන්‍ය ජීවන පැවැත්මට බාධා නොවන අයුරින් ක්‍රියා කිරීමයි. මින් අදහස්‌ කරන්නේ. අප එය අර්ථ දක්‌වන්නේ සම චර්යාව කියලයි. 

බුදු දහමෙහි සඳහන් ප්‍රධාන වචන දෙකක්‌ තියෙනවා. එකක්‌ තමයි අපි ඉහතින් සඳහන් කළ සම චර්යාව අනෙක්‌ වචනය තමයි ධර්ම චර්යාව. මෙම වචන දෙක පිළිබඳව කිසිවෙක්‌ නිසි පර්යේෂණයක්‌ කර කරුණු ඉදිරිපත් කරලා නැහැ. අපි ඒ පිළිබඳව යම් යම් කරුණු එකතු කරගෙන යනවා. 

සම චර්යාව යනු සමාජයේ යහපතට, පැවැත්මට හේතුවන කරුණුයි. අංගුත්තර නිකායේ සීහ සේනාපති සූත්‍රයේ සඳහන් වෙනවා පවත්ත මාංශය පිළිබඳව. 

සීහ සේනාපතියා යනු සෝවාන් වූ අයෙක්‌. දිනක්‌ ඔහු බුදුරජාණන් වහන්සේට සංඝයා වහන්සේ පන්සිය නමක්‌ සමඟ තමන්ගේ ගෙදර දනට වඩින ලෙස ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ එම ආරාධනාව පිළිගන්නවා. සීහ සේනාපතියා නිවසේ සිටින සේවක පිරිසකට දානය පිළියෙල කරන්න උපදෙස්‌ දුන්නා.

එක්‌කෙනෙක්‌ යෑව්වා මස්‌ ගේන්න කියලා. වෙළෙඳපොළේ තියෙන මස්‌ (පවත්ත මාංශ) ගේන්න කියලයි ඔහු උපදෙස්‌ දුන්නේ. මසුත් පිළියෙල කරලා ඔහු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දානය පිළිගැන්වූවා. මෙවැනි දේවල් සඳහන් සූත්‍ර ගණනාවක්‌ බුදුදහමේ දැක්‌වෙනවා. නමුත් අපි මේ අවස්‌ථාවේදී ඒ සියලු දේවල් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද සමහරුන් මේ දේවල් දෘෂ්ටි වශයෙන් ගත හැකි නිසා මහාවග්ග පාලියේ භික්‍ෂූන් වහන්සේලා බණ භාවනා කරන කොට නොවැළඳිය යුතු මස්‌ වර්ග ගැනත් සඳහන් වෙනවා. ඒ වගේම ආමගන්ධ සූත්‍රයේද සුත්ත නිපාතයේ ද මේ සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම අටුවා සහ ටීකාවල මේ පිළිබඳව දීර්ඝ විස්‌තර සඳහන් කර තිබෙනවා. මේ පිළිබඳව අප දීර්ඝ අධ්‍යයනයක යෙදී ඇති බැවින් මස්‌ කෑමට පක්‍ෂව හෝ විපක්‍ෂව ඇති තරම් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. 

නමුත් අපට මස්‌ මාංශ අනුභවය පිළිබඳව බුදු දහමේ සඳහන් කරුණු විකෘති කර දැක්‌වීමේ අයිතියක්‌ නැහැ. එය සාධාරණ වන්නේත් නැහැ.

බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ දැඩි අන්තගාමී බවක්‌ කිසිවිටෙකත් දක්‌නට නැහැ. යම් භික්‌ෂුවකට වේවා පුද්ගලයකුට වේවා මානසික පීඩාවක්‌ ඇති වන්නේ නම් එය සමනය වන ආකාරයට ක්‍රියා කිරිම වරදක්‌ නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. විනයෙහි සඳහන් වන අන්දමට භික්‌ෂූන් වහන්සේ නමකට අමනුෂ්‍ය දෝෂයක්‌ ඇතිවී මස්‌ කෑමට සිදු වුණා. කෙතරම් බෙහෙත් කළත් අමනුස්‌සයන්ගේ මෙහෙයවීම නිසා එම භික්‌ෂුවට සුව වුණේ නැහැ. අවසානයේදී උන්වහන්සේට ඌරන් මරණ ස්‌ථානයකට ගොස්‌ අමු ඌරු මස්‌ කා උන්ගේ ලේ බීමට සිදුවුණා. ඉන්පසුව උන්වහන්සේට සුව වුණු බවයි විනයේ සඳහන් වන්නේ. අමනුස්‌සයන්ගේ ක්‍රියාකාරීත්වය නිසයි, උන්වහන්සේ එම තත්ත්වයට පත්වුණේ. එහිදී උන්වහන්සේ කළේ වැරදි ක්‍රියාවක්‌ කියා පිළිගැනුණේ නැහැ.

තමන් විසින් සත්ත්වයකු නොමරා කවුරුන් හෝ මරපු සතුන්ගේ මස්‌ අනුභව කිරීම නිසා ප්‍රාණඝාතය කියන අකුසල කර්මය නම් සිදුවන්නේ නැහැ. එය ඉතා පැහැදිලියි. ප්‍රාණඝාත අකුසල කර්මය, සිදුවීමට නම් කරුණු පහක්‌ සම්පූර්ණ විය යුතුයි. සතෙකුවීම, පණ ඇති බව දැන ගැනීම, මැරීමේ චේතනාව, උපක්‍රම යෙදීම සහ අවසානයේදී එම සතා මැරීම යන කරුණු පහ සම්පූර්ණ වූ විටයි ප්‍රාණඝාත අකුසලය සිදු වන්නේ. 

මෙය අපි සරල උදාහරණයකින් තේරුම් ගැනීමට උත්සාහ කරමු. යම්කිසි කෙනෙක්‌ යම් සතෙක්‌ මරන්න උත්සාහ කරනවා. සතෙක්‌ බව දැනගෙන උගුලක්‌ද අටවනවා. එම අවස්‌ථාවේදී සතා උගුලෙන් බේරී පලා යනවා. එතැනදී ප්‍රාණඝාත අකුසලයක්‌ සිදු වන්නේ නැහැ. එම පුද්ගලයාගේ සිත ඒ අවස්‌ථාවේ ද්වේශසහගතව ක්‍රියාකිරීම පමණයි සිදුවුණේ. එය ඔහුව වෙහෙසට පත්කරනවා විනා ප්‍රාණඝාත අකුසල කර්මය සිදුවන්නේ නැහැ.

වෙළෙඳ පොළේ පවතින මස්‌ (පවත්තමාංශ) ගෙනැවිත් අනුභව කළාට ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ නැහැ. නමුත් මීට එරෙහි වන අය පවසන්නේ මස්‌මාංශ අනුභව කිරීමෙන් සතුන් මැරීමට අනුබල දීමක්‌ සිදු කරන බවයි.

ඔවුන් නඟන මේ තර්කය සාධාරණද? අපි ඒ ගැන විමසා බැලිය යුතුයි.

මනුස්‌සයා ඇතිවී තිබෙන්නේ ජීව විද්‍යාත්මක සාධක මතයි. එනිසා මේ දේවල් ලෝකයේ සහමුලින්ම නැතිකරන්න පුළුවන්ද? කෙනෙක්‌ හිතනවා නම් මස්‌මාංශ අනුභවය පවක්‌ කියා ඔහුට පුළුවන් ඉන් වැළකී සිටීමට. එහි වරදක්‌ නැහැ. නමුත් එම තත්ත්වය මුළු සමාජයේම ක්‍රියාත්මක කළ හැකිද? එය ප්‍රායෝගිකද? එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් සතුන් මරණ මිනිසුන් සිටියා. අදත් සිටිනවා. ඉදිරියේදීත් සිටීවි. එය වෙළෙඳ ව්‍යාපාරයක්‌ වශයෙන් පවතිනවා.

හොඳයි අපි මොහොතකට හිතමුකෝ මස්‌මාංශ අනුභවය පවක්‌ කියා තර්ක කරන අය නිසා සමස්‌ත සමාජයම මස්‌, මාළු කෑම නතර කරයි කියලා. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ රටේ ධීවර අමාත්‍යාංශයක්‌ පවත්වාගෙන යන්න වෙන්නේ නැහැ. හෘද සැත්කම් සඳහා මෝරා නමැති මත්ස්‍යයාගේ විශේෂ කොටසක්‌ පාවිච්චියට ගනු ලබනවා. මේ තත්ත්වය යටතේ එයත් වැළකී යනවා. එනිසා මස්‌ මාංශ අනුභවය පවක්‌ නිසා අප මේ සඳහා ඉදිරිපත් කරන විකල්ප මොනවාද?

මේ තත්ත්වය බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් සාකච්ඡා කරලා තිබුණා. දෙව්දත් තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් වර පහක්‌ ඉල්ලුවා. ඉන් එක්‌ වරයක්‌ වුණේ මාංශ භක්‌ෂණයෙන් තොර විය යුතුයි යන කාරණය. එය බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ. ඕනෑ කෙනෙක්‌ එය පිළිගත්තාට වරදක්‌ නැති බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ. මේ ප්‍රශ්නය මින් එහාට ගෙන ගියොත් පරම අවිහිංසාවාදී තත්ත්වයක්‌ යටතේ අපි කොහොමද ජීවත් වන්නේ. බුදුදහම කියන්නේ නිගණ්‌ඨයන්ගේ දහමක්‌ නොවේ. එවැනි අන්තවාදී අදහස්‌වලින් සමාජයට හානියක්‌ මිසක්‌ වාසියක්‌ වන්නේ නැහැ. මෙම මිථ්‍යා මත දරන්නන් නිසා යම් කෙනෙක්‌ මාංශ භක්‌ෂණයෙන් ඉවත් වුණා කියමුකෝ, මෙහි තව ටිකක්‌ දුරට ගමන් කළාම මොකද වෙන්නේ. ඒ අයට හිතෙන්න පුළුවන් නිවෙස්‌වල මකුළු දැල් කැඩීමත් වරදක්‌ කියලා. නිවෙස්‌ අතුපතුගාන එකත් වරදක්‌ කියලා. මොකද අතපතුගාන කොට ඒ ස්‌ථානවල පුංචි පුංචි සත්තු ඉන්න පුළුවන්නේ. ගොවිතැන් කිරීමත් නුසුදුසුයි කියලා මේ අය හිතන්න පුළුවන්. පොළොව කොටනකොට පොළවේ සිටින සතුන් මැරෙනවනේ. ගොවිතැනට කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීමත් වරදක්‌ විදිහට පෙනෙන්න පුළුවන්. එවිට ගොවිතැනට හානිකරන සතුන් මැරෙනවානේ. වතුර ටිකක්‌ උණු කර බොන තත්ත්වයකුත් නැතිවෙයි. මොකද ඒවායේ ක්‌ෂුද්‍ර ජීවීන් සිටිනවනේ. අවසානයේදී හුස්‌ම ගැනීම, පොළොවේ ඇවිදීම පවා පවක්‌ කියල හිතන්න පුළුවන්. අප මේ මිථ්‍යාදෘෂ්ටික මත දරන්නන්ගේ හඬට ඇහුම්කන් දුන්නොත් අවසානයේදී අප කොහේටද ගමන් කරන්නේ. මේ තත්ත්වය යටතේ අපට සිදු වන්නේ ශ්‍රි ලංකාවෙන් බුදුදහම ඉවත් කිරීමටයි. මොකද ජීවත්වෙන්න බැරි පරිසරයක්‌ අර මිථ්‍යා මත දරන්නන් නිසා බිහිවනවානේ. අප ඊට ඉඩ දිය යුතුද?

මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කර ගැනීම වැදගත්.

පුංචි දරුවකුට පණු අමාරුවක්‌ හැදුනා කියමුකෝ. පණුවන් විනාශ කිරීමට බෙහෙත් කිරීම පවක්‌ කියලා හිතුවොත් මොකද වෙන්නේ. ප්‍රතිකාර නොලැබීම නිසා ඒ දරුවා මියයන්න පුළුවන්. එතකොට දරුවා මියයැමට සැලැස්‌වීම පාපයක්‌ නොවෙයිද?

එනිසා එක එක්‌කෙනාගේ ඔළුගෙඩි තුළ තිබෙන පුහු මත සමාජගත කිරීමට අවස්‌ථාවක්‌ නොදිය යුතුයි. අප ඊට අවස්‌ථාවක්‌ ලබාදුනහොත් සිදුවන්නේ විශාල විපතක්‌. මේ අය ඉදිරිපත් කරන කිසිකෙනකුට පදනමක්‌ නැහැ. පදනමක්‌ නැති කිසිදු සිද්ධාන්තයක්‌ නැති මත ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ සමාජ සංස්‌ථාව බිඳවැටීම පමණයි. සමාජයේ පැවැත්මට බාධා පැමිණවීම පමණයි. අද මේ ප්‍රශ්නය නිසා බොහෝ මිනිසුන් අසරණ වෙලයි සිටින්නේ.

සමාජයේ පැවැත්මට හානිකර ප්‍රශ්නයක්‌ අල්ලාගෙන සිටින මෙම පිරිසට අප රටේ සංවිධානය විය යුතු කොතරම් ප්‍රශ්න තියෙනවාද? ඇයි මේ පිරිසට බැරි මනුෂ්‍ය ඝාතන නොකරන සමාජයක්‌ වෙනුවෙන් හඬනගන්න. අද අවුරුදු තුනේ හතරේ පුංචි දරුවොත් අතවරයට ලක්‌වෙනවා. ඇයි ඒ වෙනුවෙන් මේ අය හඬ නගන්නේ නැත්තේ. අද මේ සමාජයේ හොරකම වැඩිවෙලා. ඇයි මේ පිරිසට ඒ වෙනුවෙන් හඬක්‌ නගන්න බැරි. ඒ වෙනුවෙන් සංවිධාන හදාගන්න.

සමාජ සහජීවනය බිඳ දමන මතිමතාන්තර හැදීමෙන් මේ අය සිදු කරන්නේ සමාජය තුළ විශාල හානියක්‌ ඇති කිරීමයි. මස්‌ මාංශ අනුභවය ඒ කාලයේදීත් තිබුණා. නමුත් ඒ පිළිබඳව මිනිසුන්ගේ ඔළුවලට මේ අදහස්‌ දැමීමක්‌ සිදුවුණේ නැහැ. අපි නොදැනුවත්ව සතුන් මැරීමක්‌ සිදුවීම ප්‍රාණඝාත අකුසලයට වැටෙන්නේ නැහැනේ. නමුත් ලෝභ දේවේශ මෝහ යන කාරණා අඩුවී අප මාර්ගඵල ලාභී තත්ත්වයට පත්වන විට මේ තත්ත්වය වෙනස්‌ වෙන්න පුළුවන්. වෙළෙඳ පොළෙන් මස්‌ අරගෙන පරිභෝජනය කරන කෙනෙකුට පවක්‌ සිදුවන්නේ නැහැ. නමුත් එම සතුන් පොළව මත සිටින බව ඔහු දන්නවනේ. සාමාන්‍ය ජීවිතයේදී නොවෙයි මාර්ගඵල ලාභී උත්තරීතර අවස්‌ථාවකදී එම තත්ත්වයෙන් පවා (මස්‌ කෑමෙන් පවා) වැළකෙන අවස්‌ථාවන් ඒවි. එවැනි තත්ත්වයකදී මස්‌ මාංශ අනුභවය ඉබේම වැළකෙන තත්ත්වයකුයි නිර්මාණය වන්නේ.

එහෙත් යෑපීම් සඳහා මේ දේවල් සමාජයේ තියෙනවා. මෙයින් අපි අදහස්‌ කරන්නේ නැහැ සතුන් මැරිය යුතුයි කියා. නමුත් පවතින සමාජ යථාර්ථය අප තේරුම් ගත යුතුයි. අප කලින් සඳහන් කළ ආකාරයට සමචර්යාවට ඉඩදීම විනා ඊට එහා ගොස්‌ සමාජය විකෘති කිරීමේ අයිතියක්‌ අපට නැහැ. තමන්ගේ ආවේගශීලී අදහස්‌ ඉදිරිපත් කිරීමට, බොරු සිල් පෙන්වීමට මිත්‍යා මත දරන්නන් කරන දේවල්වලින් සිදුවන්නේ මහා සමාජ විනාශයක්‌ පමණයි. මේ අයගේ ක්‍රියා කලාපය බලවත් වුවහොත් බුදුදහම සමඟ රැඳී ඉන්න බැහැ කියලා සමාජයේ මතයක්‌ ඇතිවිය හැකියි. බෞද්ධ පින්වතුන් බෞද්ධකමින් ඉවත්වී වෙනත් අදහස්‌ වැළඳ ගන්න තත්ත්වයක්‌ මේ නිසා නිර්මාණය විය හැකියි. මස්‌මාංශ අනුභවයට එරෙහිව මිත්‍යා මත වපුරන මේ අය සියුම් ලෙස මේ කරන්නේ බෞද්ධ ජනතාව ඉන් ඈත් කිරීමක්‌ද යන්න ඔබ අපට සැකසහිතයි. ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුකරන්නේ ප්‍රයෝගික ලෙස ජීවත්වෙමින් බෞද්ධයන් ගෙවන ආගමික සහජීවනය බිඳ දැමීමයි.

මස්‌ මාංශ අනුභවය පිළිබඳව පුහු මත ඉදිරිපත් කරන මේ අයට බෞද්ධ විඥනයක්‌ නැහැ. බෞද්ධ චින්තනයක්‌ නැහැ. තමන්ට කටට ආපු දේ කියනවා. ඔවුන් සිදු කරන්නේ ජනප්‍රිය ලාභ සත්කාර ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියාකිරීම පමණයි. මේ සම්බන්ධයෙන් සමහර මිත්‍යා මත ඉදිරිපත් කරන්නේ නිසි ලෙස පැවිදි උපසම්පදාවක්‌ ලැබූ භික්‌ෂුන් නොවේ. අපි ඒ අයට අභියෝග කරනවා යම් දවසක මේ පිළිබඳව අප සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන්න කියා.


අද මේ ගැන කතා කරන අය සතුන් මරණ ආකාරය දක්‌වන වීඩියෝ පට පාසල්වල පවා දර්ශනය කරනවා. මේ හින්දා පුංචි දරුවන්ගේ පමණක්‌ නොව වැඩිහිටියන්ගේ ද මනස අවුල් වෙනවා. මෙවැනි වීඩියෝ පාසල්වල ප්‍රදර්ශනය කිරීම තහනම් කළ යුතුයි. ඊට අධ්‍යාපන දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතුයි. නිරෝගී දරුවන්ගේ මානසික තත්ත්වය බිඳ දැමීමට මෙම මිත්‍යා මත දරන්නන්ට ඉඩනොදිය යුතුයි.

මස්‌ මාංශ අනුභවයට එරෙහිව පොතපත ලියන අය හෝ වේවා දේශන පවත්වන අය වේවා බුදු දහම ගැඹුරින් දකින්නැයිද ඒ ගැන අධ්‍යයනය කරන්න යෑයිද අපි ඔවුන් වෙත දැන්වීමට කැමැතියි. ධර්ම සන්නිවේදනයේදී ධර්ම සන්නිවේදකයා ඉතාමත් පරිස්‌සම් විය යුතුයි. අප සැත්කමක්‌ කරන අයුරින් ධර්ම සන්නිවේදනය කළ යුතුයි.

ත්‍රිපිටකයේම තියෙන මාංශ අනුභවය සම්බන්ධ තොරතුරු අප සොයා බැලුවා. අටුවාවේ සඳහන් කරුණුත් සොයා බැලුවා. ඒවගේම අපට වඩා තලතුනා ධර්මධර, විනයධර භික්‌ෂුන් වහන්සේලාගෙනුත් මේ ගැන විමසා බැලුවා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස තමයි අප මේ කරුණු අනාවරණය කරන්නේ. මස්‌ මාංශ අනුභවයට එරෙහිව මත ඉදිරිපත් කරන්නන් පසු විපරමක්‌ කරලා නැහැ. ඉන් සමාජයට වී ඇති හානිය පිළිබඳව ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ අපිටයි. පුංචි දරුවන් ඇතුළු වැඩිහිටියන් මේ ගැන ඇති කරගෙන තිබෙන අනියත බිය නිසා අපට ඊට ඉදිරිපත් වෙන්න සිදුවෙලා තිබෙනවා. ඔවුනගේ අනියත බිය නැති කරන්න වෙලා තියෙන්නේ බුදුදහම පිළිබඳව ගැඹුරින් අදහස්‌ දක්‌වන්න පුළුවන් ස්‌වාමීන් වහන්සේලාට පමණයි. අප ඒ කාර්යය කළ යුතුයි. නැතිනම් සමස්‌ත සමාජයටම වෙන්නේ හානියක්‌.

මෙම මිත්‍යා ඉදිරිපත් කරන්නන් එය සමාජගත කිරීම සඳහා විශාල මුදලක්‌ වැයකර තිබෙනවා. මේ අයට මේ මුදල් කොයින්ද? මේක ජාවාරමක්‌. මෙම ජාවාරම කරන පිරිස කියන කතා, ප්‍රකාශ කර ඇති දේවල්වලින් බෞද්ධාගමට වන්නේ විශාල හානියක්‌. ඇතැම් අය භික්‌ෂුන් වහන්සේලාට අපහාස වන අයුරින් පවා ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. මේ අය ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා නොවේ. අප සමාජයේ මිනිසුන් මස්‌ මාංශ අනුභව කළා තමයි. නමුත් එහි ඇලුනේ නැහැ. ඔවුන්ගේ සුන්දර පවුල් ජීවිත අවුල් කරන මේ මිත්‍යා මත අප පරාජය කළ යුතුයි.

ධර්ම සංවාදය - වසන්ත ලියනගේ 

Sunday, October 2, 2016

නිර්මාංසය ප්‍රතික්ෂේප වන ආකාරය විවිධ ස්වාමීන් වහාසේලා දකින ආකාරය

මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ  “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයේ 238 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.



ප්‍රශ්න අංක 100: චුන්දකර්මාර පුත්‍රයා විසින් තථාගතයන් වහන්සේට පිළිගැන් වූ සුකරමද්දවය කුමකින් කෙසේ පිළියෙල කරන ලද්දක්ද?



පිළිතුර: “සුකරමද්දවන්ති නාතිතරුනස්ස නාතිජින්නස්ස එකජෙට්ඨක සුකරස්ස පවත්තමංසං, තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති තං පටියෝදාපෙත්වා සාධුකං පචාපෙත්වාති අත්ථො” යනුවෙන් ‘සුකරමද්දවය’ යනු ඉතා ළපටි ද නොවූ ඉතා තරුණ ද නොවූ තනිව වාසය කළ සුකරයකුගේ මෘදු වූද, සිනිඳු වූද මසින් පිළියෙල කළ ආහාරයකැයි මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ පවසා තිබේ. මෙය අටුවාචාරීන් වහන්සේ විසින් පිළිගත් මතයයි. මස් වැළඳුහ යි කීම තථාගතයන් වහන්සේට අගෞරවයක යැයි සැලකු අය අතීතයෙහි ද වුහ. ඔවුන්ගෙන් ඇතමෙකු සුකරමද්දවය මෘදු වූ බතට පස්ගෝරස යොදා පිසූ ආහාරයකැයි කියන බවත් ඇතමකු තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීම සිදු නොවීම සඳහා පිළියෙල කළ රසායන බෙහෙතකැයි කියන බවත් පරිනිර්වාණ සුත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහරු සුකරමද්දවය හතු වර්ගයකින් පිළියෙල කළ ආහාරයකැයි කියති. සුකරමද්දවය ගැන මෙසේ නානා මත පළ කරන අයට ඒවා ස්ථීර කිරීමට කිසිම සාක්ෂියක් නැත. සුකර මාංශය පහත් ආහාරයකැයි සිතා ඇතැම්හු සුකර මාංශය බුදුන් වහන්සේ වැළඳුහයි කීමට විරුද්ධ වෙති. ආහාරයෙන් සුද්ධියක් ඇති වන බව බුදුවරයන් වහන්සේලා නො වදාරන්නාහ. ඇතැම්හු බුදුවරු, රහත්හු මත්ස්‍යමාංශයෙන් යුක්ත ආහාර නො වළඳන්නාහ යි සිතා සුකරමද්දවය මසින් පිළියෙල කළ අහරක් නො වෙති යි කියති. එය ඔවුන්ගේ මතිමාත්‍රයකි. බුදුන් වහන්සේ මත්ස්‍යමාංශ නො වළඳනා බවට පිටකත්‍රයෙන් සාධක නො දැක්විය හැකිය. වැළඳු බවට නම් පිටකත්‍රයෙන් හා අටුවාවලින් සාක්ෂ්‍ය දැක්විය හැකි ය.”



පාතකඩ භික්ෂු අභ්‍යාස විද්‍යාලාධිපතිව වැඩ විසු රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ මහා නාහිමි පාදයන් ගේ “ගැටලු තැන්” ග්‍රන්ථයේ 85 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.                



“කෘෂිකර්මයට මස් පිණිස සතුන් ඇති කිරීම හා බිත්තර සුලබ කිරීම ද අයත් වන බව අපි දනිමු. එසේ ම වගාව රැක ගැනීම පිණිස ගොවියාට කරන්නට සිදු වන කුඩා සතුන් විනාශ කර දැමීමේ ප්‍රාණ ඝාතය ගැන ද අපි දනිමු. ධීවර කර්මාන්තය එක්තරා ධනොපායන ක්‍රමයක් බව ද දනිමු. මේ සියල්ලම බාහිර හැඩහුරුවෙන් තරමක වෙනසක් ඇති වුවත් එදත් අදත් මිනිසාගේ ජීවනෝපාය සලසා දීමේ මාර්ග හැටියට සැලකුණු හම්බ කිරීමේ මාර්ගයන්ය. අප එකිනෙකාගේ ප්‍රතිපත්ති පිරීම සඳහා මේ එකද ව්‍යාපාරයක් බාධකයක් හැටියට සැලකිය නොහැක. බුදුන් දවස සතුන් මරන්නෝ මිනිසුන්ට මස් සැපයුහ. මහජනයා ඒ මස් මිල දී ගෙන තම තමන් පරිභෝග කළා පමණක් නොව බුදුන් ඇතුළු මහසඟනට ඒ මස් සහිත ව දානයද පිරිනැමුහ. මගේ මේ මතය ප්‍රතික්ෂේප කරන සමහර පුද්ගලයන් සිටිය හැකිය. නමුත් මේ මගේ පිළිගැනීමයි. ඔවුන් දක්වන හේතු ප්‍රත්‍යය ක්‍රමය උඩ ප්‍රාණ ඝාතයෙන් තොර ව වතුර ටිකක් බීමට වත් නොහැකියැයි මට අදහස් වෙයි. එය එක පැත්තක තිබේවා. මිනී මැරිලි නතර කර ගත නොහැකි තැනක මස් කෑම නතර කරන්නට බණ කියන්නට තරම් පිස්සුවක් මට වැලඳී නැත.” 



ඉඟුරුවත්තේ පියනන්ද මහා නාහිමි විසින් සකස් කරන ලද “බුදු දහමේ පැන විසඳුම්-1” නම් ග්‍රන්ථයේ 189-190 පිටු වලින් උපුටා ගත් විස්තර පහතින් දක්වා ඇත්තෙමු.



22 – ප්‍රශ්නය: විකිණීම සඳහා වෙළඳ පොළෙහි තබා ඇති මස් මාංශ මිලයට ගෙන පරිභෝග කිරීම පාපයක් වේද?



පිළිතුර:- “අපේ ධර්ම ග්‍රන්ථයන්හි පස් පව්, දශ අකුසල් යැයි අත්හළ යුතු කරුණු පසළොසක් පෙන්වා ඇත. එසේම ආජීවය කෙලෙසන ජීවන මාර්ග පසක් පෙන්වා ඇත.



o   ජීවත් වීම සඳහා මත්පැන් ආදී මදයට ප්‍රමාදයට හේතු වන දෑ විකිණීම,

o   ජීවත් වීම සඳහා මස් මාංශ වෙළඳාම් කිරීම,

o   ජීවත් වීම සඳහා සත්ව ජීවිත වලට හානිකර වස  විෂ වර්ග විකිණීම,

o   ජීවත් වීම සඳහා කෙනෙකුගේ ජීවිතවලට හානිකර අවි ආයුධ විකිණීම,

o   ජීවත් වීම සඳහා සතුන් වෙළඳාම් කිරීම (මසට සතුන් විකිණීම).



යන මේවා බෞද්ධයාගේ ආජීවය කිලිටි වන අදැහැමි වෙළඳාම්ය. මස් මාංශ අනුභවය පවක් වන්නේ මාංශ ලෝලත්වයෙන් අධික කෑදර කමින් පරිභෝග කලොත්ය. පලතුරු එළවළු බුදින්නෙක් වුවද ඒවා කෑදර කමින් පරිභෝග කරයි නම් සිදු වන්නේද සිත කිලිටි වීමයි. ලෝභ දෝෂ මෝහ යන තුන  අකුසල් මුලයෝය. ඒවා මුල් වීමෙන් කරන සෑම ක්‍රියාවක්ම සිත කිලිටි කරන්නකි. සාමාන්‍ය පෘතග්ජනයෙකුට දවස පුරාම ඇති වනුයේ අකුසල සිතය. එය සාමාන්‍ය ස්වභාවයයි. අප කෑම බීම සඳහා වෙළඳ පොළෙන් ගෙන එන දේ පිළිබඳව සිතා බැලුවහොත් නොයෙකුත් අදැහැමි ක්‍රම වලින් සේවකයින් තළා පෙළා නිෂ්පාදනය කරන දේවල් විය හැකිය. මහා පරිමාණ ගොවිතැන් කරන රටවල් ගොවිතැන් වලට ගොවිබිම් වලට ටොන් ගණන් වස විෂ යොදා අනන්ත කෘමීන් ක්ෂුද්‍ර ජීවීන් වනසා ලබා ගත් අස්වැන්නකි, අප මුදලට ගනු ලබන නිර්මාංශ ආහාර වන වී, මුං, කඩල, පරිප්පු මෙන්ම එළවළු පලතුරු යනාදියත්. ඒ බව අද නොදන්නා කෙනෙක් නැත. එහෙත් අප එම ද්‍රව්‍යයන් මිලයට ගන්නා බැවින් අවුරුදු පතා ඉල්ලුමට සරිලන සේ නිෂ්පාදකයෝ තව තවත් ඒවා නිපදවති. පාරිභෝගිකයාට එයින් පවක් වේද? මස් මාංශ සත්ව මාංශයන් බව දනිමු. ඇතැම් විට අප මැස්සෙක් මදුරුවෙක් තරම් සතෙකු හෝ නොමරන පරම අවිහිංසාවාදී අයද විය හැක. නමුත් මේ ආහාර මිලට ගන්නා කිසිවෙකුට ප්‍රාණ ඝාත අකුසලයක් හෝ සත්ව හිංසාවට අනුබල දීමක් සිදු නොවේ. මන්ද? අප තුළ කිසිසේත් එවන් චේතනාවන් නැති හෙයිනි. යම් හෙයකින් මස් මාංශ අනුභවය සත්ව ඝාතනයට අනුබලයක් වීමෙන් පාරිභෝග කරන්නාට පාපයක් අයත් වේ නම්, කෘමි නාශක යොදා නිපදවන සෑම ද්‍රව්‍යයක්ම පරිහරණය කරන්නාටද පාපයක් සිදුවේ.



අප යම් ක්‍රියාවක් කිරීමේදී හටගන්නා චේතනාවයි කර්මයක් බවට පත්වන්නේ. ඒවා වැල ගිය තැන් මුල ගිය තැන් සොයා ගොස් කර්ම සෑදීමක් නම් සිදු නොවේ. අප යම් මාංශ නොවන ආහාරයක්‌ අනුභව කිරීමේදී ඇති වන චේතනාවට වැඩි වෙනසක් මාංශ ආහාරයක්‌ අනුභව කිරීමේදී ඇති වේ යැයි නොපෙනේ. කෙනෙක් විසින් මරන ලද සත්වයෙකුගේ මාංශ අනුභව කිරීමට වැඩි පවක් (කෙනෙක් විසින් මරන ලද සත්වයෙකුගේ මාංශ කෑම පවක් නම්) නුතනයෙහි අති බහුතරයක් එලවළු පළතුරු කන අයට සිදු වේ. මෙය මැදිහත්ව සිතා බලන්න.



බුදුන් වදාළ පෙළ දහම තුළ සත්ව ඝාතනය පවක් ලෙස දක්වා ඇතිමුත් මාංශ අනුභවය පවක් වන බවක් වදාළ තැනක් අපි නොදුටිමු. එසේ පවක් වන්නේ නම් මුලින්ම එය පනවනුයේ භික්ෂුණ්ටය. දෙව්දත්ගේ පඤ්ඡ වරයෙන් එකකි භික්ෂුන් දිවිතෙක් මස් මාංශ වැළඳීමෙන් වැළකිය යුතුය යන්න. ඒත් ගිහියන්ට නොව පැවිද්දන්ටය. ඇරත් බුදුහු එම ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කළහ. මේ පිළිබඳ කරුණු දැකීමට නම් විනය හා සුත්‍ර පිටකය තරමක් හෝ කියවිය යුතුය. නමුත් අපේ බොදුනුවන් බුදුරදුන්ටත් වඩා අවිහිංසාවාදී බවක් පෙන්නුම් කළත්, අවිහිංසා බණ දේශනා කළත් පන්සිල් ටික හෝ අවංකව රකින්නෝ කී දෙනෙක් සිටිද්ද?



හේතුව: සතුන් මැරීමයි. ඵලය: මස් මාංශයි. යම් කලෙක හේතුව නැති කළහොත් එදාට ඵලයද නැති වේ. බුද්ධ දේශනාව මැදුම් පිළිවෙතකි. කිසිම දෙයක අන්තගාමී බවෙක් ඇත්නම් ඒවා බුදු බණ නොවේ. අවිහිංසාවාදී දෙසුමක් පමණි. මේ දෙකම බෞද්ධයා තේරුම් ගත් විට ජීවත්වීම බරක් නොවේ. අත්‍යවශ්‍ය නොවන වාද භේද ඇති කරමින් බුද්ධ දේශනාවට ඌන පුරණ එක් කිරීමට වඩා අපට සමාජය දැහැමි කිරීම සඳහා කළ යුතු කාර්යයන් කොපමණ තිබේද? තමා ධාර්මිකව ජීවත් වෙමින් පන්සිල් රකිමින් වෙළඳපළෙන් ගත් හෝ ගෙනැවිත් දුන් හෝ කවර මාංශයක් වැළඳුවත් (භික්ෂුණට අකැපයයි දේශිත මාංශ හැර) එය ස්වර්ග සැපයට හෝ මොක්ෂයට බාධාවක් නොවන බවයි මගේ අදහස.” (“බුදු දහමේ පැන විසඳුම්-1” නම් ග්‍රන්ථයේ 189-190 පිටු).



ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්ති ධම්මික හිමි (කැලණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙහි ශාස්ත්‍රපති උපාධිධාරී) විසින් ලියන ලද “Good Questions, Good Answers” නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වූ “දහම් ගැටළු” නම් පොතේ 66-67 වැනි පිටු වලින් උපුටා ගත් තොරතුරු පහතින් දක්වා ඇත්තෙමු. (පරිවර්තක: ශාස්ත්‍ර විශාරද විමලසේන විතාන පතිරණ).



ප්‍රශ්නය: බෞද්ධයන් අවශ්‍යයෙන්ම නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නොවන්නේද?



පිළිතුර:- “බෞද්ධයන් අවශ්‍යයෙන්ම ශාක භක්ෂකයන් නොහොත් නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නැත. බුදුන් වහන්සේ නිර්මාංශ ආහාර පමණක් වැළඳු අයෙකු නොවූ සේක. උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ටද ශාක භක්ෂක ආහාරයක්‌ පමණක් වළඳන්න යැයි දේශනා නොකළ සේක. යහපත් බෞද්ධයන් බොහෝ දෙනෙක් අද පවා මස් මාළු සහිත ආහාර බුදිති.



ප්‍රශ්නය: ඔබ මස් ආහාරයට ගන්නේ නම් එමගින් සතෙකුගේ මරණයට අනියම් වශයෙන් වගකිව යුතුවේ. එය පළමු ශික්ෂා පදය කඩ කිරීමක් නොවන්නේද?



පිළිතුර:- ඔබ මාංශ ආහාරයක්‌ ගත් විට, සත්වයෙකුගේ මරණය ගැන ඔබ අනියම් හා අල්ප වශයෙන් වගකිව යුතු බව සත්‍යයකි. එහෙත් ඔබ එළවළු ආහාරයට ගන්නා විටද තත්වය මෙබඳුය. ඔබේ ආහාරයට ගන්නා එළවළු කෘමි සතුන්ගෙන් බේරා ගැනීම සඳහා ඒවාට කෘමි නාශක සහ විෂ යෙදීමට ගොවියාට සිදු වේ. ඒවා ඔබේ ආහාරයට නිසි වන අයුරු බේරා ගන්නේ ඒ අන්දමින් කෘමිනාශක යෙදීමෙනි. ඔබේ බඳ පටියට හෝ අත් බෑගයට හෝ බෙරයට හම් ලබා ගැනීමටත් ඔබ පාවිච්චි කරන සබන් සඳහා තෙල් ලබා ගැනීමටත් මේ හැරුණු විට තවත් දහසකුත් එකක් නිෂ්පාදන සඳහා දළ ද්‍රව්‍යය ලබා ගැනීමටත් සතුන් මැරීමට සිදුවේ. වෙනත් ප්‍රාණියෙකුගේ මරනය සඳහා අනියම් වශයෙන් හේතු කාරක නොවී ජීවිතය ගෙන යාමට අපහසුය. ඔබ පළමු වැනි ශික්ෂා පදය සමාදන් වීමෙන් ප්‍රතිඥා දෙන්නේ කෙළින්ම ප්‍රාණ ඝාතය කිරීමේ වගකීමෙන් ඔබ මිදෙන බවටය.



ප්‍රශ්නය: මහායාන බෞද්ධයන් ආහාර පිණිස මස් ගන්නේ නැහැ නොවේද?



පිළිතුර:- එය නිවැරදි තත්වය නොවේ. චීනයෙහි පවතින මහායාන බුද්ධාගම නිර්මාංශ ආහාරය පිළිබඳව වැඩි වැදගත් කමක් දක්වයි. එහෙත් ජපානයෙහි හා තිබ්බතයෙහි මහායාන භික්ෂුණ් මෙන්ම ගිහියෝද සාමාන්‍යයෙන් මාංශ ආහාරයට ගනිති.



ප්‍රශ්නය: එහෙත් බෞද්ධයා නිර්මාංශ ආහාරයට ගැනීම යෝග්‍යයයි  මම කල්පනා කරමි.



පිළිතුර:- නිර්මාංශ ආහාර ගැනීමේ පුරුද්දක් දැඩි ලෙසම අනුගමනය කරන මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. ඔහු ගති ගුණ වශයෙන් ආත්මාර්ථකාමී වංක පහත් පැවැතුම් ඇති තැනැත්තෙකි. එසේම නිර්මාංශ ආහාර නොගන්නා එහෙත් පරාර්ථකාමී අවංක ත්‍යාගශීලී ගති ඇති කරුණාවන්ත මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. මේ දෙදෙනා අතරින් වඩා යහපත් බෞද්ධයා කවරෙක්ද? අවංක හා කරුණාවන්ත පුද්ගලයාම වඩා යහපත් බෞද්ධයා වේ. ඇයි? මක්නිසාද යත් ඔහු හිතක් ඇති මනුෂ්‍යයෙකු හෙයිනි. නිර්මාංශ ආහාරයට පුරුදුව සිටින තැනැත්තෙකු අපිරිසිදු හදවතක් ඇත්තෙකු විය හැකි සේම, මාංශ ආහාරයට ගන්නා තැනැත්තෙකු පිරිසිදු හදවත් ඇත්තෙකු විය හැකිය. බුදුන් වහන්සේගේ ධර්මය අනුව වැදගත් වන්නේ ඔබේ සිතිවිල්ලෙහි පාරිශුද්ධ භාවය විනා ඔබේ ආහාරයෙහි අඩංගු දේ නොවේ. බොහෝ බෞද්ධයෝ මත්ස්‍ය මාංශ ආහාර කොට නොගැනීමට බොහෝ සෙයින් පරීක්ෂාකාරී වෙති. එහෙත් ඔවුහු ආත්මාර්ථකාමය, වංක බව, කෘරත්වය හෝ ද්වේෂය මැඩ පැවැත්වීමට ඒ අන්දමින් පරීක්ෂාකාරී නොවෙති. පහසු කටයුත්තක් වන ආහාරය වෙනස් කිරීමට ඔවුහු පෙලඹෙතත්, අපහසු කටයුත්තක් වන ඔවුන්ගේ සිත වෙනස් කර ගැනීමට ඔවුහු උත්සාහ නොකරති.” (ශ්‍රාවස්ති ධම්මික හිමි විසින් ලියන ලද “Good Questions, Good Answers” නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වූ “දහම් ගැටළු” නම් පොතේ 66-67 වැනි පිටු)



පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි විශේෂවේදී උපාධිධාරී කළුන්දෑවේ කමලසිරි හිමි විසින් ලියන ලද“නිර්මාංශ ආහාරය පිළිබඳ බෞද්ධ ස්ථාවරය” නමැති ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටස් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.



(පිටු අංක 50-  )

“මාංශ ආහාර සදාචාරාත්මක ද යන්න පිළිබඳව නොයෙක් මතවාද මතු වෙමින් පවතී.සමහරු මාංශ අනුභවය සදාචාර විරෝධීය යන පදනම මත පිහිටා නොයෙක් සමිති සමාගම් මුල් කරගෙන නිර්මාංශී සමාජයක් ගො ඩනැගීමෙහි ලා නිරත වෙති. සත්ත්ව ඝාතනයේ කුරිරු බව, ජීවත් වීමේ අයිතිය මෙන්ම මාංශ ආහාරයෙන් මනුෂ්‍යයාට සිදුවන අභ්‍යන්තර හා බාහිර පරිහානිය ඔවුන්ගේ ප්‍රධාන මාතෘකා බවට පත් වී ඇත. එමෙන්ම නිර්මාංශ ආහාර ක්‍රමයේ ආරක්‍ෂිත භාවය සහ යෝග්‍යතාව පිළිබඳව විවිධ පොත් පත් ද පළ කර ඇත. එසේ වුවත් මාංශ ආහාරය සම්බන්ධයෙන් සලකා බලන විට එය සාධාරණීකරණය වීමටද නොයෙක් හේතු සාධක ඉවහල් වන බව දක්නට ලැබෙයි. ඒ අතර:-

               

පාරසරික බලපෑම්

                ආගමික බලපෑම්

                සංස්කෘතික බලපෑම්

                වෛද්‍ය විද්‍යාත්මක බලපෑම්



යනාදිය ප්‍රධාන වශයෙන්ම මාංශ අනුභවයට ඉවහල් වන බව පැහැදිලි වෙයි. මිනිසාගේ ආගම, සංස්කෘතිය, භූගෝලීය පරිසරය යනාදිය තුළින් මිනිසා මාංශ ආහාර වලට හුරුකර ඇත. එය නිරායාසයෙන් සිදුවන්නකි.   



පාරිසරික බලපෑම් 

මාංශ ආහාරය සාධාරණීකරණය වීමට බලපෑ ප්‍රධාන ම සාධකයක් වශයෙන් පාරිසරික බලපෑම පෙන්වා දිය හැකිය. මිනිසා ඇතුළුව සමස්ත ජීවී වර්ගයා ම තම ආහාරය සකස් කර ගනු ලබන්නේ තමා ජීවත් වන වටපිටාව (පරිසරය) අනුවය. පරිසරයේ ඇති ආහාරය කෙරෙහි සත්ත්වයා නිරායාසයෙන්ම යොමු වෙයි. එය ආහාරය සම්බන්ධයෙන් සාමාන්‍ය නියමයයි. භූගෝලීය සාධක අනුව උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිතව ඇති රටවල දීර්ඝ කාලයක් හිම පතනය සිදු වන නිසා ශීත සෘතුව පවතී. එවැනි රටවල කෘෂිකර්මාන්තයට ඉඩක් නැත. ඉඩක් තිබුණේ වේ නම් එය ඉතා අල්ප වශයෙනි. එසේ ම කෘෂි නිෂ්පාදනයන් බොහෝ කාලයකට තැන්පත් කර තබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. මේ අනුව ජීවත් වන ප්‍රදේශය හා සලකා බලන විට සතුන් මැරීම හා මාංශ අනුභවය නිහතමානීව ඉවසිය යුතු වන්නේය. ඒ අන් කිසිවක් නිසා නොව ඒ ඒ පරිසර පද්ධතීන්හි මාංශ හැර වෙනත් යමක් ආහාරය සඳහා නොමැති නිසාය. “තමා වෙසෙන පරිසරය හා ජීවත් වීම සඳහා එක්සිමොවරුන්ට හා ලාප්ලන්තවරුන්ට දඩයම් කිරීම හැර වෙන විකල්පයක් නොමැත” (කප්ලිව්, ෆිලිප් “සියලු ප්‍රාණීන් රැක ගනිමු” 103-104 පිටු). එක්සිමෝවරු, ලාප්ලන්තවරු ජීවත් වන්නේ දැඩි හිම පතනයක් සහිත දේශගුණයකය. ඒ නිසාම ඔවුන්ට ශාක ආහාර සොයා ගැනීම අපහසුය. ඔවුන්ගේ ප්‍රධාණ ම ජීවනෝපාය මාර්ගය වන්නේ මාළු ඇල්ලීමයි. ඊට අමතරව හිමයේ ජීවත් වන සතුන් දඩයම් කිරීමෙන් ද ඔවුන්ගේ ආහාරය සපයා ගනී. දැඩි හිම සහිත ප්‍රදේශ වල මෙන් ම කාන්තාර වල ද ප්‍රධාන ආහාරය බවට පත් වන්නේ මාංශ ආහාරයයි. ඔටු මස් කාන්තාර වාසීන්ගේ ප්‍රධාන ආහාරය වන්නේය. මේ හේතු නිසා නිර්මාංශ ආහාරය සෑම තැන්හි ම සාධාරණ නොවන බව පැහැදිලි වෙයි. සෙසු සාධක සියල්ල බැහැර කළ ද පාරිසරික සාධකය මාංශ ආහාරය සම්බන්ධයෙන් ඉතාමත් ම ඉහළින් බලපාන බව මේ අනුව පැහැදිලි ය. ඒ නිසා සියලු දෙනාම බුද්ධිමත්ව සිතා බලා සතුන් මැරීම හා මාංශ අනුභවය ඉවසිය යුතුව ඇත.



සංස්කෘතික බලපෑම්      

බොහෝ පිරිසකගේ එකතුවක් සමාජය ලෙස හඳුන්වයි. සමාජය නිර්මාණය වන්නේ එක් අයෙකුට වැඩි පිරිසක් එක්වීමෙනි. එම පිරිසෙහි අනන්‍ය වූ භාෂාව, අනන්‍ය වූ විශ්වාස පද්ධතිය, පදනම් කරගෙන ඔවුනොවුන්ගේ හැසිරීම් රටාවෙහි ස්වභාවය සංස්කෘතිය ලෙස හඳුන්වයි. සංස්කෘතියක් බොහෝ සෙයින් ආගමික සබැඳියාවකින් පෝෂණය වී ඇති වගක් දක්නට ලැබෙයි. සංස්කෘතිය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ ආගමික මුල පදයක් හා සම්බන්ධ කරගෙනය. ඒ බව ජන ව්‍යවහාරය තුළින් මනාව දක්නට ලැබෙයි.



බෞද්ධ සංස්කෘතිය

ක්‍රිස්තියානි සංස්කෘතිය

ඉස්ලාම් සංස්කෘතිය

හින්දු සංස්කෘතිය



ආදී වශයෙන් සමාජයේ සංස්කෘතිය ආගමික මුහුණුවරකින් හඳුන්වනු පෙනෙයි. එයට ප්‍රධාන ම හේතු සාධකය වන්නේ සංස්කෘතියක් හුදෙක් ම ආගම හා සම්බන්ධ වීමයි. යම් විශ්වාස පද්ධතියකින් තොර සංස්කෘතියක් නැත.



බෞද්ධ සංස්කෘතිය

සංස්කෘතිය බොහෝ සෙයින් ම සකස් වී ඇත්තේ ආගමක් සම්බන්ධව බව අපි දකිමු. සිංහල සංස්කෘතිය ගත්තද එය බුදු සමය හා එක් වී ඇත. ඒ නිසා සිංහල සංස්කෘතිය, බෞද්ධ සංස්කෘතිය වශයෙන් හැඳින්වීමට තරම් බෞද්ධාගමික මුහුණුවරක් ගෙන ඇත. බෞද්ධ සංස්කෘතික සමාජයට අනුව සමාජය කොටස් හතරකි. භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා වශයෙනි. ඉන් පැවිදි පිරිස භික්ෂු-භික්ෂුණී ලෙස ද ගිහි පිරිස උපාසක-උපාසිකා ලෙස ද සකස් වී ඇත. මාංශ ආහාරය සම්බන්ධයෙන් සලකා බලනවිට උපාසක-උපාසිකාවන්ට සතුන් මැරීම තහනම් වුවත් මස් කෑම තහනම් කර නැත. ඒ නිසා තමන් විසින් නොමරන ලද, තමන් අනිකෙකු ලවා නොමරවන ලද, සතුන් මරන්නට අනුබල නොදෙන ලද යන අවස්ථාවන්ගෙන් යුක්තව මසක් කෑම වරදක් නොවේ. වෙළඳ පොළෙන් රැගෙන එන මස් බොහෝ දෙනා භාවිත කරති. සිංහල සංස්කෘතියට අනුව වැඩිවියට පත්වීම, විවාහය, ගෙට ගෙවැදීම, අලුත් අවුරුදු උත්සව ආදී නොයෙක් උත්සව දක්නට ලැබෙයි. මේ සෑම අවස්ථාවකදී ම ආහාර වේලක් ලබා දෙනු ලබයි.



ආගමික පදනම

නිර්මාංශ ආහාරය පමණක් ම සාධාරණීකරණය කිරීමට ආගමික සාධකයන් ඉවහල් කර ගත නොහැකිය. ලංකාවේ භාවිත වන බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා හින්දු යන ආගමික ඉගැන්වීම් අධ්‍යයනයෙන් ඒ බව පැහැදිලි වෙයි. මෙම කිසිදු ආගමක මාංශ ආහාරය තහනම් කර නැත. නිර්මාංශ ආහාරය ද තහනම් කර නැත. කැමති අයෙකුට මාංශ ආහාර ගැනීමේ හැකියාව ද කැමති අයෙකුට නිර්මාංශ ආහාර ගැනීමේ හැකියාවද ඇත. ඒ සඳහා ආගම් වලින් පුර්ණ නිදහසක් අනුගාමිකයන්ට ලබා දී ඇත. මාංශ ආහාර කිසිදු ආගමක තහනම් කර නොතිබුණ ද ආගම් සියල්ලෙහි ම කෑ යුතු නොකෑ යුතු මස් වර්ග සඳහන් කර ඇත. බුදු සමයෙහි සඳහන් ආකාරයට තුන් ආකාරයකින් පිරිසිදු වූ මාංශය හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධි මාංශය භික්ෂුණ්ට අනුමත කර ඇත. බුදුරජාණන් වහන්සේ භික්ෂුණ් වහන්සේලාට දේශනා කළේ:



“අනුජානාමී භික්ඛවේ ත්‍රිකෝටිපරිසුද්ධං මච්ඡමංසං: අදිට්ඨං අසුතං අපරිසඬ්කිතන්ති” (මහාවග්ගපාලි II594 වැනි පිටුව).



යම් මාංශයක් තමා උදෙසා මරන ලද බවට නොදක්නා ලද්දේ වේ ද, යම් මාංශයක් තමා උදෙසා මරන ලද බවට නොදන්නා ලද්දේ වේ ද, යම් මාංශයක් තමා උදෙසා මරන ලද බවට සැක නොකරන ලද්දේ වේ ද මේ තුන් ආකාරයෙන් පිරිසිදු වූ මාංශය වැළඳීමට සුදුසු බවයි. මෙම පැනවීම ගිහි බෞද්ධ උපාසකයන් සඳහා පනවා ඇති බවක් දක්නට නැත. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් බුදුරදුන් අනුදැන වදාළේ භික්ෂුණ් වහන්සේලා සඳහා පමණි. උපාසක උපාසිකාවන්ට ප්‍රාණඝාතයෙන් වැළකිය යුතු බව පමණක් දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඔවුනට මස් කෑම සම්බන්ධයෙන් නීති නොපැනවූ සේක. භික්ෂුණ් වෙනුවෙන් නොකෑ යුතු මස් වර්ග දහයක්ද විනය පිටකයේ මහාවග්ගපාලියේ (556-560 පිටු) සඳහන් වෙයි. මෙම මස් වර්ග දහය භික්ෂුණ්ට පිළිගැන්වූයේ ගිහි උපාසක උපාසිකාවන්ය. එම නොකෑ යුතු මස් වර්ග දහය මෙසේය.



1)      මිනී මස් (මනුෂ්‍ය මාංශ)

2)      ඇත් මස් (හත්ථි මාංශ)

3)      අශ්ව මස් (අස්ස මාංශ)

4)      සිංහ මස් (සිංහ මාංශ)

5)      කොටි මස් (ව්‍යාඝ්‍ර මාංශ)

6)      දිවි මස් (දීපි මාංශ)

7)      බලු මස් (සුනඛ මාංශ)

8)      සර්ප මස් (අහි මාංශ)



(ත්‍රිපිටකය ආශ්‍රයෙන් සංඛ්‍යාත්මක ධර්ම කරුණු අඩංගු ග්‍රන්ථයක් ශාස්ත්‍රපති වලතර සෝභිත හිමියන් විසින් “ධම්ම මාලා” නමින් සමයවර්ධන පොත්හල මගින් ප්‍රකාශයට පත් කොට ඇත. එම ග්‍රන්ථයේ ‘අහි මාංශ’ නම් කොට ඇත්තේ ‘ඌරු මස්’ වශයෙනි)



9)      වලස් මස් (අච්ඡ මාංශ)

10)  (තරස්)කරබානා වලස් මස් (තරච්ඡ මාංශ)



මෙම මස් වර්ග දහය ද බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුණ්ට තහනම් කරන ලද්දේ සමාජයෙන් මතු වූ විරෝධතාවය නිසා හා වනසතුන්ගෙන් සිදු වූ හිරිහැර අනතුරු හේතු කර ගෙනය. මෙම මස් වර්ග ගිහියන්ට නොකෑ යුතු බවට බුදුරදුන් ශික්ෂාපද පනවා නැත. ඒනිසා බුදුරජාණන් වහන්සේ ගිහියන්ගේ ආහාරය සම්බන්ධයෙන් විශේෂ පැනවීම් පනවා නැති බවත්, උන්වහන්සේ අගය කළේ ධාර්මික දිවි පැවැත්ම හා නිර්වාණගාමී ප්‍රතිපදාව බවත් පැහැදිලිය. උන්වහන්සේ බාහිර සමාජයේ ආචාර සමාචාර දිවි පැවැත්ම ආහාරපානාදිය වෙනස් කිරීමට උත්සාහ නොගත් සේක. මේ නිසා න්ර්මාංශ ආහාරය ම සාධාරණීකරණය කිරීමට බුදුදහම එකඟ නොවන බව පෙනී යයි. 



බුදුන් වහන්සේ මස් වැළඳුවේ ද?

බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සුත්‍ර පිටකයේ හා විනය පිටකයේ නොයෙක් තැන් වල තොරතුරු සඳහන් වේ. එම අවස්ථාවන් වශයෙන් අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රය, මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය, සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රය, මහාවග්ගපාලි භේසඡ්ඡඛන්ධකයේ සීහ සේනාපති කතා පුවත, පාරාජිකපාලි චීවරපටිග්ගහන ශික්ෂා පදය, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් චුන්දකර්මාර පුත්‍රයාගේ සුකරමද්දව දානය ආදිය පෙන්වා දිය හැකිය. මෙම අවස්ථා බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සාක්ෂි සපයයි.



මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රයේ සඳහන් කතා පුවත මෙසේය. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජීවක වෛද්‍යවරයාගේ අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි ජීවක උපාසක තුමා (වෛද්‍යවරයා) බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේය. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ උදෙසා සතුන් මරන බවත්, ඔබ වහන්සේ එම මස් දැන දැන වළඳන බවටත් මා විසින් අසන ලදී.



“සුතං මේතං භන්තේ සමනං ගොතමං ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති”    



“ස්වාමීනි, ඒ ආකාරයට නොයෙක් දෙනා පවසන්නේ භාග්‍යවතුන් වහන්සේට අදාළ දෙයක්ද? නැතහොත් ඔවුන් ඔබ වහන්සේට කරුණු රහිතව අභූතයෙන් චෝදනා කරන්නෙහි ද? යනුවෙන් ජීවක උපාසක තුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය. එම ප්‍රශ්නයට බුදුරදුන් පිළිතුරු දුන්නේ මෙසේය. “ජීවකය, යමෙක් මෙසේ කියත් නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් මිනිස්සු සත්තු මරති, ඒ කාරණය දැන දැන ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා පිළියෙල කළ මස් වළඳත් කියා කියත් නම් එම කරුණ පවසන ඔවුහු මා විසින් කියන ලද්දක් කියන අය නොවෙති. ඔවුහු ම හට අසත්‍යයෙන් අභූතයෙන් චෝදනා කරන අය වෙති” යනුවෙනි.



එසේ බුදුරදුන් ජීවක උපාසක තුමාට දේශනා කෙළේ තමන් වහන්සේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංශය අනුභව කරන බවයි. එසේ ම එය වැළඳීමට භික්ෂුණ්ට අනුමැතිය ලබා දෙන බවයි. එම කාරණා තුන නම් ඉහතින් සඳහන් කළ තිකෝටි පාරිශුද්ධ මාංශයයි. එනම්:



1.      අදිට්ඨං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු,

2.      අසුතං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු,

3.      අපරිසඬ්කිත – තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති

මාංශයයි.



“ජීවකය, මම මෙම තුන් ආකාරයෙන් පිරිසිදු වූ මාංශය අනුභව කරමි. අනුභව කිරීමට අනුමැතිය ලබාදෙමි.” (මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය). එසේම සමාජයේ බුදුරජාණන් වහන්සේ උදෙසා සතුන් මරති, උන්වහන්සේ එම මස් දැන දැන වළඳත් යැයි බුදුරදුනට චෝදනාවක් ඇති වුයේ උන්වහන්සේ මස් වළඳන නිසා බවද මෙයින් පැහැදිලි වෙයි. මස් නොකන අයට සමාජයෙන් එවැනි චෝදනා එල්ල වන්නේ නැත.



මහාවග්ගපාළියේ භේසඡ්ඡඛන්ධකයේ ද බුදුරදුන් මස් වැළඳු බවට තොරතුරු සඳහන් වෙයි. සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වාසය කරන කාලයක ලීච්ඡවීහු සන්ථාගාර (රැස්වීම්) ශාලාවෙහි රැස් වී බුදුරදුන්ගේ ගුණ කියත්, භික්ෂු සංඝයාගේ ගුණ කියත්, එම අවස්ථාවේ රැස්වීම් ශාලාවේ සිටි නිගණ්ඨ ශ්‍රාවකයෙකු වූ සිංහ නම් සේනාපතියෙක් බුදුරදුන් කෙරෙහි පැහැදී උන්වහන්සේ දැකීමට යාමට කැමති වෙයි. ඒ බව නිගණ්ඨනාථ පුත්තයන් වෙත දැනුම් දුන් විට ඔහු මෙසේ කීවේය. “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අකිරියවාදියෙකි. එයින් ම උන්වහන්සේ ශ්‍රාවකයන් හික්මවති. ඔබ කුමක් හෙයින් බුදුරදුන් හමුවීමට යන්නෙහිද?” නිගණ්ඨනාථ පුත්තයන් එසේ කී විට සිංහ සේනාපතියන්ගේ බුදුරජාණන් වහන්සේ දැකීමේ අදහස නැති වී ගියේය. එහෙත් දෙවන තුන්වන වර ද ලීච්ඡවීන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළ විට ඔහුට බුදුන් දැකීමේ අදහස යළිත් ඇතිවිය. එම අදහස නිගණ්ඨනාථ පුත්‍රයන්ට දැනුම් දුන් පසු ඔහු දෙවන තෙවන වර ද සිංහ සේනාපතියන් වළක්වනු ලැබීය. පසුව සිංහ සේනාපතියන් නිගණ්ඨනාථ පුත්‍රයන්ට නොදන්වා රථ පන්සියයක් සහිතව දහවල් කාලයේ බුදුරජාණන් වහන්සේ දැකීමට ගියේය. බුදුරදුන් හමුවූ සීහ සේනාපතියන් උපාසකයෙකු බවට පත්වීය.



ඔහු නිවසට ගොස් සේවකයෙකු අමතා වෙළඳ පොළට ගොස් මස් ගෙනෙන්නට නියම කළේය.



“ගච්ඡ භණේ පවත්ත මංසං ජානාහී තී” (මහාවග්ගපාලි – 592 පිටුව)

පසුදා සීහ සේනාපතියා බුදුරදුන් ප්‍රමුඛ මහා භික්ෂු සංඝයා වහන්සේට මස් සහිත ප්‍රණීත භෝජනයෙන් සංග්‍රහ කෙළේය. සීහ සේනාපතියා උපාසකයෙකු බවට පත් වූ පුවත හා ඔහු බුදුරදුන්ට මස් සහිත දානයක් දුන් පුවත දැන ගත් නිගණ්ඨයෝ විශාලා මහනුවර වීදිවල ‘අද සීහ සේනාපතියා තරබාරු සිවුපාවෙකු මරා ශ්‍රමණ ගෞතමයන්ට බත් කරන ලද්දේය. ශ්‍රමණ ගෞතමයන් තමන් උදෙසා කළ මාංශය වැළඳු වේ යැයි  “අජ්ජ සීහේන සේනාපතිනා ථුල්ලං පසුං වධිත්වා සමණස්ස ගෝතමස්ස භත්තං කතං. සමණෝ ගෝතමෝ ජානං උද්දිස්සකටං මංසං පරිභූඤ්ජතී’ති පටිචචකම්මන්ති” යි ඝෝෂා කළහ.



මෙම කතා පුවතින්ද බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බව තහවුරු වෙයි. සීහ සේනාපතියා ‘පවත්ත මාංශය’ ගෙනෙන්නට කීමෙන් නිගණ්ඨයන් ද ‘පවත්ත මාංශය’ අනුභව කරන්නට ඇති බව සිතිය හැකිය. ඔවුන් බුදුරදුන්ට චෝදනා කෙළේ උදෙසා කළ (උද්දිස්සකටං) මසක් වළඳන බවටයි. එනිසා පවත්ත මාංශය හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ජෛනයන් හා වෙනත් ශ්‍රමණයන් ද වළඳන්නට ඇත. එනිසා බුදුරදුන් ද ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බවට මේ කතා පුවතින් ඉදිරිපත් කර ඇත.



මීට අමතරව පාරාජිකාපාලි විවරපටිග්ගහන ශික්ෂා පදයේ ද බුදුරදුන් මස් වැළඳු බවට කතා පුවතක් සඳහන් වෙයි. එහි සඳහන් පරිදි උප්පලවන්නා මෙහෙණිය පෙරවරු කාලයේ පිණ්ඩපාතයෙන් පසුව අන්ද වනයට වැඩම කරවා ගසක් මුල දිවාවිහරණය පිණිස වැඩ සිටියාය. ඒ වේලාවෙහි සොරු ගව දෙනක්මරා අන්ද වනයට පිවිසුණහ. සොර නායකයා ගසක් මුල වැඩ සිටින උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ දැක මාගේ දරුමල්හු මේ මෙහෙන දක්නාහු නම් වෙහෙසෙන්නාහයි (කරදර කරන්නේ යැයි) වෙන මගකින් ගියේය. අනතුරුව ඒ සොර නායකයා මස් පැසුණු විට හොඳ මස් ටිකක් ගෙන කොළ ආදියෙන් ඔතා බැඳ උප්පලවන්නා මෙහෙණීන් වහන්සේට ළඟ තැනක “යම් මහණ බමුණෙක් මෙය දකිත් නම් එය ගනිත්වා” යැයි කියා ගසක එල්ලුවේය. උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ සමාධියෙන් නැගී සිට සොර නායකයාගේ වචනය අසා ඒ මස් ගෙන මෙහෙණවරට ගියාය. පසුදා එම මස් පිළියෙල කර උතුරු සිවුරෙහි ඔතාගෙන බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමට ජේතවනාරාමයට ගියාය. මෙම කතා පුවතින් ද බුදුරදුන් මස් වැළඳු බව තහවුරු වෙයි. මෙහි සඳහන් වැදගත්ම කාරණය නම් “ගාවිං වධිත්වා” යන්නයි. මෙයින් බුදුරජාණන් වහන්සේ ද ගව මාංශ වැළඳු බව කියවෙයි.   



අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඌරු මස් වැළඳු කතා පුවතක් සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කුටාගාර ශාලාවෙහි වැඩ වසන සමයක සෝවාන් ඵලයට පැමිණි උග්ග නම් උපාසකයෙක් බුදුරජාණන් වහන්සේ උදෙසා අපුරු ආකාරයක දානයක් පිළියෙල කෙළේය. උග්ග ගෘහපතියා බුදුරජාණන් වහන්සේට එම දානය පිළිගැන්වූයේ උන්වහන්සේ විසින් දේශනා කරන ලද බණ පදයක්ද සිහි ගන්වමිනි. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිදී මෙසේ අසන ලදී. එනම් මනාප දේ දන් දෙන තැනැත්තා කැමති දෙයක් ම ලබන්නේය” යන බණ පදයයි. භාග්‍යවතුන් වහන්ස මා ඩෙබරඵල මුසු කළ ඌරු මස් වලට ඉතා මනාපය. එනිසා භාග්‍යවතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පා උපදවා ගෙන මාගේ ඩෙබරඵල මුසු මේ ඌරු මස පිළිගන්වා සේක්වා. උග්ග ගෘහපතියා මෙසේ ප්‍රකාශ කර බුදුරජාණන් වහන්සේ වෙත ඌරු මස් පිළිගැන්වූ විට උන්වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන වැළඳු සේක. මේ ප්‍රවෘත්තියෙන් ද බුදුරජාණන් වහන්සේ මාංශ වැළඳු බව සනාථ වෙයි.



සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රයේ පෙර බුදුවරු පවා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව සඳහන් වෙයි. එය මාංශ ආහාරය සම්බන්ධයෙන් බුදුවරු එකම ආකල්පයක් දරන බවට සාධකයෙකි. එහි සඳහන් ආකාරයට එම කතා පුවත කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයට සම්බන්ධ වෙයි. බ්‍රාහ්මණ වංශික තිස්ස නම් තාපසයෙක් පිරිවර තාපසයන් සහිතව මාංශ ආහාර වලටත්, මාංශ ආහාර අනුභව කරන අයටත් අපහාස කරමින්, බැනවදිමින් සිටියේය. තිස්ස තාපසයා ප්‍රකාශ කෙළේ, මිනේරි, අමු ඇට, තල කොළ, දලු, අල, මුල් පලතුරු ආදී දැහැමින් ලබන දේ වළඳන දැහැමින් සැනසෙන අය කාමය නොපතන, බොරු නොකියන අය බවයි.



දිනක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලිහිණි මස් සහිත ඇල් හාලේ බතක් දානය වශයෙන් ලැබ එය වළඳනු දුටු තිස්ස තාපසයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විචාළේය. “ඔබ වහන්සේ කලින් පැවසුවේ, පිළී ගඳ තමාට කැප නැති බවය. එහෙත් දැන් ඔබ වහන්සේ මනාව පිසින ලද ලිහිණි මස් සමග ඇල් හාලේ බත් වළඳති”. කාශ්‍යප සමිඳුනි, ඔබ වහන්සේ පිළී ගඳ වශයෙන් සඳහන් කළේ කුමක්ද? තාපසයා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කාශ්‍යප බුදුන් වහන්සේ ප්‍රාණ ඝාතය, වධදීම, අත්පය සිඳීම, සතුන් සිර කොට තැබීම, සොරකම, බොරුකීම, වංචා කිරීම, ක්‍රෝධයෙන් කල් ගෙවීම, අනුන්ගේ භාර්යාවන් ඇසුරු කිරීම, මෙලොව පරලොව නොපිළිගැනීම, පින් පව් නොපිළිපැදීම ආදී අයහපත් දේ සිදු කිරීම ආමගන්ධය වන බවත්, මාංශ ආහාරය ආමගන්ධය නොවන බවත් (ඒසාමගන්ධෝ නහි මාංශ භෝජනං) දේශනා කළහ. මෙම සුත්‍ර දේශනාවෙන් පෙර බුදුවරු පවා මාංශ භෝජනය වැළඳු බව කියවෙයි. බුදුරජාණන් වහන්සේ දැහැමින් ලැබුණු ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව ඉහතින් ඉදිරිපත් කරන ලද පිටකාගත තොරතුරු වලින් මනාව සනාථ වන්නේය. ඒ බවට අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රය, මහා පරිනිබ්බාන සුත්‍රයේ චුන්දකර්මාර පුත්‍රයාගේ දානය, පාරාජිකා පාලියේ චීවර පටිග්ගහන ශික්ෂා පදයේ එන විස්තරය, මහා වග්ග පාලියේ සීහ සේනාපතියාගේ කතාව, යනාදිය උදාහරණ වේ. මේ නිසා මාංශ ආහාරය බුදුසමයේ සඳහන් මග ඵල අවබෝධයට බාධාවක් නොවන බව දේවදත්ත තෙරුන් විසින් පංච වරයක් ඉදිරිපත් කරන ලදුව බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කිරීමෙන් පැහැදිලි වන්නේය. මෙම පංච වරයේ එක් කාරණයක් නම් “භික්ෂුණ් දිවි ඇති තෙක් මස්-මාළු වැළඳීමෙන් වැළකිය යුතුය” යන්නය.



(යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං යෝ මච්ඡමංසං ඛාදෙය්ය වඡ්ඡං නං ඵුසෙය්යාති – චුල්ලවග්ග පාලිII). මෙයට පිළිතුරු වශයෙන් බුදුරදුන් දේශනා කළේ “මයා දේවදත්ත අනුඤ්ඤාතං තිකොටිං පාරිශුද්ධං මච්ඡමංසං අදිට්ඨං, අසුතං, අපරිසංකිතන්ති” (චුල්ලවග්ග පාලි II). එනම්, තමන් වහන්සේ විසින් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය භික්ෂුණ්ට අනුමත කර ඇති බවයි. මෙයින් බුදු දහමින් මාංශ ආහාරය තහනම් කරනැති බවත්, බුදු දහමේ ලැබිය හැකි මාර්ග ඵලයන්ට පත්වීමට මාංශ ආහාරය කිසිදු බාධාවක් වශයෙන් බුදුරදුන් නොසැලකු බවත් පැහැදිලිවේ.” (පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි විශේෂවේදී උපාධිධාරී කළුන්දෑවේ කමලසිරි හිමි විසින් ලියන ලද “නිර්මාංශ ආහාරය පිළිබඳ බෞද්ධ ස්ථාවරය” නමැති ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටස්)

සබ්බේ තසන්ති දණ්ඩස්ස යනුවෙන් දේශනා කරන ලද ධම්මපද ගාථාව නිර්මාංසය තහවුරු කිරීම සඳහා නොවේ


සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ සං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා - න හනෙය්‍ය න ඝාතයේ

සියල්ලෝ දඬුවමට තැතිගනී - සියල්ලෝ ජීවිතයට ප්‍රියය 
තමා උපමාවට ගන්න - පහර නොගසන්න නොමරන්න 

නිර්මාංස වෘතයට බෞද්ධයා ඇද දමා සෞඛ්‍ය පිරිහීමට පත් කිරීමෙන් හා හින්දු නිඝන්ට නිර්මාංස වෘතයක් පුහුණු කිරීමෙන් බෞද්ධ ප්‍රජාව විනාශ කර දැමීමට මාන බලන NGO නඩය උපයෝගී කරගන්නේ ඉහත දැක්වෙන ධම්ම පදයේ 130 වන ගාථාවයි. ඕනෑම බුද්ධ දේශනයක් නිවැරදිව අර්තකථනය කර ගැනීමේදී එහි අවස්ථා සම්බන්දය පිරික්සිය යුතුයම. එනිසයි සෑම සුත්‍ර දේශනාවකටම අවස්ථා සම්බන්දය දක්වා තිබෙන්නේ. මෙම ගාථාව දේශනා කිරීමට හේතු වූයේ කිසිඳු සත්ව ඝාතනයක් හෝ සත්ව ආහාර දන් පිණිස පිලිගැන්වූ අවස්තාවක නොවේ. මේ භිෂුන් වහන්සේලා කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇතිවූ අවස්ථාවකදීය. මෙම අවස්ථාවේදී භික්ෂුවක් තවත් භික්ෂුවකට අත උස්සා අවවාද හෝ තර්ජන නොකළ යුතුය යන විනය සික්ශාවක්ද පනවන ලදී. 

තවද මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කල යුත්තේ සත්ව ඝාතනයත් නිර්මාංසයත් එකිනෙකට සම්බන්ද නොමැති ක්‍රියා දෙකක් ලෙස බුදු රජාණන් වහන්සේගේ අර්ථ දැක්වීම. තමාගේ චේතනාවක් නොමැතිව සතෙකු ඝාතනය වීම නිසා කිසිඳු පාපයක් තමාට අත් නොවන බවයි නිර්මල බෞද්ධයා නිවැරදිව වටහා ගත යුතු. තමාගේ චේතනාවක් නොමැතිව සතුන් මරණ එකවත් මැරෙන එකවත් කිසිවෙකුටවත නවතන්න බැරි බවයි බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම. එය එම සතාගේ හා මරන්නාගේ කර්මානුරූපී  සිදුවීමක්. මේක පිළිගන්න අකමැති පිරිස් අපේ බෞද්ධයන් අතර ඕනෑ තරම් ඉන්නවා. ඔවුන් කර්මඵල විශ්වාස නොකරන පිරිස. ඔවුන්ගේ පිළිගැනීම දස වස්තුක මිත්‍යා දෘෂ්ඨියට වැටෙනවා. ඔවුන්ට කිසිදිනෙක නිවන් මගට අවතීර්ණවීමට හැකියාවක් නැහැ. ඔවුන් උප්පැන්නෙන් බෞද්ධයන් පමණයි. අනුන් මරණ සතුන්ට අවිහිංසාව පතුරන්න ගිහින් තමන් නිවන් මග පමා කරගන්න පිරිස. ඔවුන් ගැන අනුකම්පා කල යුතු අතර උපේක්ෂාවෙන් ඔවුන්ගේ අවභෝදයට නොව ඇදහීමට ගරුකල යුතුයි. එය ඇදහීමක් මිස දහමක් නොවෙයි. දහම කියන්න ස්වාභාව ධර්මයේ පරම සත්‍ය. ඔවුන් බුදු දහම ප්‍රඥාවෙන් වටහා ගත් පිරිසක් නොවන අතර බුද්ධියෙන් බුද්ධාගම විශ්වාස කරන අදහන පිරිසක්. මෙහෙම වී තිබෙන්නේ අද පිරිසිදු බුදු දහම හින්දුකරණය, නිඝන්ටකරණය, ජෛනකරණය වී ආගමක් බවට පත්වී ඇති නිසයි. එනිසයි අද නිර්මාංස වෘතය නාමික බෞද්ධයින්ගේ වෘතයක් වී තිබෙන්නේ. නිර්මාංස නොව ඕනෑම වෘතයක් සමාදන් වීම නිවනට බාදාවක්. නමුත් එය දෙව් ලොවට නම් මගක් විය හැකියි. 

බුදු දහම කියන්නනේ සරලව පව හා පිනට ගොනු කරන ලද විශ්වාසය හා ඇදහීම මත පදනම් වූ ආගමක් නොවෙයි. එහි විස්තර කරන්නේ ස්වාභාව දහමේ පැවැත්මයි. පවෙන් ඈත්වී පින් කිරීමෙන් දිව්‍ය ලෝකයේ ආසනයක් වෙන්කරගන්න හදන තැනට අද බෞද්ධයින් පත් වෙලා. එනිසයි මේ අනුන් මරණ කර්මානුරූපීව සිදුවන සතෙකුගේ මරණය නිසා මිත්යාදෘෂ්ටිකයින් බවට නාමික බෞද්ධයා පත්වන්නේ. මෙවැනි නිර්මාංස NGO කාරයින්ගේ ප්‍රචාර වලට හසු වී ලැබුවාවූ උතුම් මනුස්සත්වයෙදී අඩු තරමින් ඉතා පහසුවෙන් අවතීර්ණ විය හැකි සෝතාපන්න මාර්ඝයටවත් එළඹීමට උත්සාහ නොකර නිර්මාංස වෘතයක් සමාදන්වී පෝෂණයෙන් දුර්වල වී දහම් අවභෝදයට කරගැනීමට ඇති ජීවිතය කෙටි කරගන්නේ.       

තවද අද නාමික බෞද්ධයා ප්‍රාණය නිරුද්ධ වූ මස් කැබැල්ලේ සතර මහා භූත නොදැක සතෙකු දකින්නේ මිත්‍යාදෘෂ්ඨියෙන් අන්ධ වී ඇති නිසයි. 

මේ ධම්ම පද ගාථාව පිලිබඳ සම්පූර්ණ විස්තර පහතින් කියවන්න. 


Dhammapada Verse 130
Chabbaggiya Bhikkhu Vatthu

Sabbe tasanti dandassa
sabbesam jivitam piyam
attanam upamam katva
na haneyya na ghataye.

Verse 130: All are afraid of the stick, all hold their lives dear. Putting oneself in another's place, one should not beat or kill others.

The Story of a Group of Six Bhikkhus

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (130) of this book, with reference to a group of six bhikkhus.

After coming to blows the first time, the same two groups of bhikkhus quarrelled again over the same building. As the rule prohibiting beating others had already been laid down, the group of six threatened the other group with upraised hands. The group of seventeen, who were junior to the chabbaggis, cried out in fright. The Buddha hearing about this laid down the disciplinary rule forbidding the raising of hands in threat.

Then the Buddha spoke in verse as follows:

Verse 130: All are afraid of the stick, all hold their lives dear. Putting oneself in another's place, one should not beat or kill others.



හනාති - පහර දීමට (to Strike)
හනේය්ය - පහර ගසන්න 
Hanati 
(& hanti) [han or ghan to smite, Idg. *gṷhen, as in Av. jainti to kill; Gr. χείνω to strike, ϕόνος murder; Lat. de — fendo "defend" & of — fendo; Ohg. gundea=  gs. gūd "battle." The Dhtp (363 & 429) gives "hiṁsā" as meaning of han] 1. to strike, to thresh S iv.201; J iv.102. — 2. to kill D i.123; A iv.97 (asinā hanti attānaṁ); Sn 125; Dh 405; maggaṁ° to slay travellers on the road J i.274; iii.220. — 3. to destroy, to remove Sn 118; Dh 72. — Forms: Pres. 1st sg. hanāmi J ii.273; 2nd sg. hanāsi J iii.199; v.460; 3rd sg. hanti Sn 118; A iv.97; DhA ii.73 (=vināseti); Dh 72; hanāti J v.461; hanati J i.432; 1st pl. hanāma J i.200; 3rd pl. hananti Sn 669. Imper. hana J iii.185; hanassu J v.311; hanantu J iv.42; Dh 355; J i.368. Pot. hane Sn 394, 400; haneyya D i.123; Sn 705. ppr. a-hanaṁ not killing D i.116; hananto J i.274. fut. hanissati J iv.102; hañchati J iv.102; hañchema J ii.418. aor. hani Mhvs 25, 64; 3rd pl. haniṁsu Sn 295; J i.256; ger. hantvā Sn 121; Dh 294 sq.; hanitvāna J iii.185. — Pass. haññati D ii.352; S iv.175; Sn 312; J i.371; iv.102; DhA ii.28. ppr. haññamāna S iv.201. grd. hantabba D ii.173. aor. pass. haññiṁsu D i.141. fut. haññissati DA i.134. — Caus. hanāpeti to cause to slay, destroy J i.262; DA i.159; ghātāpeti Vin i.277; ghāteti to cause to slay Dh 405; Sn 629; a-ghātayaṁ, not causing to kill S i.116; Pot. ghātaye Sn 705; hātayeyya Sn 394; aor. aghātayi Sn 308; ghātayi Sn 309; pass. ghātīyati Miln 186. See also ghāteti. Cp. upahanati, vihanati; °gha, ghāta etc., paligha.