ඒ කාලේ බරණැස් නුවර වාසය කළ එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙක් අසනීප වෙලා ඒ වෙනුවෙන් විරේක බෙහෙතක් වළඳමින් හිටියා. මේ විරේක බෙහෙත වැලඳුව නිසා ම උන්වහන්සේ ට මස් ව්‍යංජනයක අවශ්‍යතාවය දැනුණා. සුප්පිය උපාසක තුමත් සුප්පියා උපාසිකාවත් වාසය කළේ මේ බරණැස් නගරයේමයි. මේ දෙදෙනා ම සෝවාන් ඵලයට පත් වුණ දෙන්නෙක්. මේ දෙන්නගෙ නිතර තිබුණ පුරුද්දක් තමයි ගිලන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන්න නිතර විහාරයට යන එක. විහාරයට ගිහින් ගිලන් භික්ෂූන් වහන්සේලා ගේ කුටියක් පාසා ගිහින් සුවදුක් විචාරන එක වගේ ම උවමනා බෙහෙත් වර්ග සපයන එක බොහොම කැමැත්තෙන් කළා. "ස්වාමිනී, ගිලන් වී සිටින්නේ කවර භික්ෂුව ද? ගෙනැවිත් දියයුත්තේ කවර නම් දෙයක් ද?" කියලා වෙනදා වගේ ම එදත් සුප්පියා උපාසිකාව විමසුවා. එතකොට මස් ව්‍යංජනයක අවශ්‍යතාවය තිබුණ භික්ෂුව, මේ විදියට කිව්වා. "පින්වත් නැඟණියනි, මවිසින් විරේක බෙහෙතක් වළඳන ලද්දෙමි. මා හට මස් ව්‍යංජනයක් ලැබුණොත් ප්‍රයෝජනවත් ය."
ඒ බව ඇහුව සුප්පියා උපාසිකාව "ආර්යන් වහන්ස මැනවි, එය ඔබවහන්සේ හට ගෙනෙනු ලබන්නේ ය." යනුවෙන් පවසලා වහා නිවසට ගිහින් සේවකයෙක් යැව්වා කඩපිලට, විකිණීමට තියෙන මසක් සොයාගෙන එන්න. ඒ වුණත් මුළු බරණැස් නුවර පුරා ම ඇවිදලත් කිසිම මසක් හොයාගන්න බැරිවුණ සේවකයා හිස් අතින් ම සුප්පියා උපාසිකාව හම්බවෙලා මේ විදියට කිව්වා. "ආර්යාවෙනි, වෙළඳපොළේ විකිණීමට කිසිදු මසක් නැත, අද සතුන් නොමරන මාඝාත දිනයයි". ඒක ඇහුව සුප්පියා උපාසිකාව මේ විදියට හිතනවා. "ඒ ගිලන් වූ භික්ෂුවට මස් ව්‍යංජනය නොලැබුණෝතින් අසනීපය වැඩිවන්නට පුළුවනි. ඇතැම් විට ඒ අසනීපයෙන් ම අපවත් වන්නටත් පුළුවනි, ඇරත් මා යමක් දෙන බව පොරොන්දු වී එය නොයවන්නේ නම් මා හට එය නුසුදුසුය". ඊට පස්සේ මස් කපන පිහිය ගත්ත සුප්පියා උපාසිකාව තමන්ගේ කලවයෙන් කොටසක් කපලා දාසියට දුන්නා. "එම්බා කෙල්ල, මේ මස හොඳින් දුරුමිරිස් දමා පිස අසවල් වෙහෙරේ ස්වාමින් වහන්සේට පිළිගන්වන්න, යමෙක් මා ගැන විමසත් නම් අසනීප බව පවසන්න". එහෙම කියලා සුප්පියා උපාසිකාව තමන්ගේ කලවය රෙද්දකින් ඔතාගෙන කාමරයට ගිහින් වැතිරිලා හිටියා. නිවසට ආව සුප්පිය උපාසකතුමා, කාමරයට වැදී සිටින සුප්පියා උපාසිකාව දැකලා ඒ ඇයි කියලා විමසනවා. තමන්ට අසනීප බව කියන සුප්පියාව සිදුවුණ සියළුම දේවල් සුප්පිය උපාසකතුමාට කියනවා. මේ බව ඇහුව සුප්පිය උපාසකතුමා "භවත්නී මෙය නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් දෙයකි, මෙය නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් දෙයකි, සුප්පියාව බුදු සසුන කෙරේ පරිපූර්ණ ශ්‍රද්ධා ඇත්තීයකි. තමන්ගේ මස පවා දන් දෙන මැයට නොදිය නොහැක්කක් නම් නැත " කියලා බොහෝම සතුටු හිතුණා. ඊටපස්සෙ සුප්පිය උපාසකතුමා බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් වන්දනා කරලා පසුදින දානයට ආරාධනා කරනවා.
දානය පිරිසිදු ව පිළියෙළ කරලා ඒ බව බුදුරජාණන් වහන්සේ ට දැන්වූවා ම බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන සුප්පිය උපාසකතුමාගේ නිවසට වඩිනවා. වැඩම කළාට පස්සේ උන්වහන්සේ එදා දකින්නට හිටියෙ නැති සුප්පියාව ගැන විමසනවා. එතකොට සුප්පිය උපාසකතුමා "ස්වාමිනි, ඈ ගිලන් ව සිටින්නී ය. " කියලා පිළිතුරු දෙනවා. එසේ වී ඇය මෙහි පැමිණේවා කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. "ස්වාමිනි, ඇයට පැමිණීමට නොහැකිය" කියලා පවසනවා. "එසේ වී නම් ඇය ඔසවාගෙන එන්න" බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට සුප්පිය උපාසකතුමා ගිහින් ඇය ව ඔසවාගෙන එනවා. සුප්පියාව බුදුරජාණන් වහන්සේ දකිනවාත් එක්කම ඇගේ තුවාලය මසින් වැහිලා ගිහින් සම්පූර්ණයෙන් ම සුවපත් වුණා. "භවත්නී මෙය නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් දෙයකි, භාග්‍යවතුන් වහන්සේ දකිනවාත් එක්කම මේ සා මහත් වූ තුවාලය සැණින් මසින් පිරී ගොස් කැළැල් මැකී ගොස් සුවපත් වූයේය... " කියලා දෙදෙනා ම සතුටු වෙනවා. සතුටු වෙලා දන් පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ දානය පිළි අරගෙන ධර්ම කතාවෙන් සතුටු කරලා විහාරයට වැඩියා. ඊටපස්සෙ මේ කාරණය හින්දා ම භික්ෂු සංඝයා රැස් කරනවා.
"පින්වත් මහණෙනි, සුප්පියා උපාසිකාවගෙන් මස් ව්‍යංජනයක් ඉල්ලුවේ කවර භික්ෂුව ද? " බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වෙතින් විමසනවා. "ස්වාමිනි ඒ මා විසිනුයි". මස් ඉල්ලූ භික්ෂුව ඉදිරිපත් වුණා.
"පින්වත් භික්ෂුව, ඒ මස ඔබට ලැබුණේද?"
"එසේ ය ස්වාමිනි, මා හට ඒ මස ලැබුණේය. "
"පින්වත් භික්ෂුව ඔබ ඒ මස වැළඳුවේද? "
"එසේ ය ස්වාමිනි, මවිසින් ඒ මස වැළඳූයෙමි. "
"පින්වත් භික්ෂුව, ඒ කවර මසක්දැයි ඔබ විසින් විමසන ලද්දේ ද?"
"නැත ස්වාමිනි, නොවිමසුවෙමි."
එවිට බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් එහි දොස් දක්වලා මේ විදියට දේශනා කළා. "හිස් පුරුෂය, ඔබ විසින් විමසනු නොලැබ කෙසේ නම් ඒ මස වැළඳුවේද? හිස් පුරුෂය ඔබ විසින් වළඳා තිබෙන්නෙ මනුෂ්‍ය මාංශයකි. හිස් පුරුෂය, මෙය වනාහී නොපැහැදුනවුන් පැහැදීම පිණිස හෝ පැහැදුනවුන් වඩා පැහැදීම පිණිස ද හේතු නොවේ....පින්වත් මහණෙනි, බලවත් ලෙස ශ්‍රද්ධාව පිහිටුවා ගත් බලවත් ප්‍රසාදය ඇති ජනයා තමන්ගේ මස පවා පුදන ලද්දේ වෙයි. පින්වත් මහණෙනි, මිනී මස් නොවැළඳිය යුතු ය. මිනී මස් වළඳන්නේ නම් එයින් ම ඒ භික්ෂුව 'ථුල්ලච්චය' ආපත්තිය සිදුවේ. " ('ථුල්ලච්චය' ආපත්තිය කියන්නේ විශාල වරදක් සිදුවුණාට පස්සෙ එය සංඝයා හමුවේ ආරෝචනය කොට නැවත නොකරන බවට පොරොන්දු වී සංවර වන ඇවතක්.) පින්වත් මහණෙනි, නොවිමසා මස් නොවැළඳිය යුතු ය. යමෙක් නොවිමසා මස් වළඳන්නේ නම් දුක්කට ආපත්තිය සිදුවේ. (දුක්කට ආපත්තිය කියන්නේ නොකළයුතු දෙයක් කිරීමේ වරදට හසුවීමයි. නැවත එය නොකරන බවට පොරොන්දු වී සංවර වීය යුතු ඇවතක්).
No comments:
Post a Comment