නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස..!!!
‘‘න මංච්‌ඡමංසානානාසකත්‌තං, න නග්‌ගියං න මුණ්‌ඩියං ජටාජල්‌ලං;
ඛරාජිනානි නාග්‌ගිහුත්‌තස්‌සුපසෙවනා, යෙ වාපි ලොකෙ අමරා බහූ තපා;
මන්‌තාහුතී යඤ්‌ඤමුතූපසෙවනා, සොධෙන්‌ති මච්‌චං අවිතිණ්‌ණකඞ්‌ඛං.”
“මස් මාළු නො වැළඳීම ද, නග්නතාව ද, හිස මුඩු කිරීම සහ ගොරෝසු සිවුරු දැරීම ද, ඇඟ දුහුවිලි තවරා ගැනීම ද, රළු ගෝන සම් දැරීම ද, ගිනි දෙවියා පිදීම ද, අමරණීයබව උදෙසා ලොවෙහි ඇති නොයෙක් දුක විඳීම් ආදිය ද, වේද මන්ත්‍ර, හෝම කර්ම, අශ්ව මේධ ආදී යාඥයන් සහ ඍතුපසෙවනය (වර්ෂා කාලයෙහි ගස් යට ද, උණුසුම් කාලයෙහි එළිමහනේ ද, සීත කාලයෙහි ජලයෙහි ද සිටීම) ද යන ක්‍රියාවෝ, එම ක්‍රියාවන්හි යෙදෙන්නා වූ, (මාර්ගය පිළිබඳ) විචිකිච්ඡා දුරු නො කළ මිනිසා, (කෙලෙසුන්ගෙන් හෝ භවයෙන් හෝ) පිරිසිදු නො කෙරෙත්.
- ආමගන්ධ සූත්‍රය (සුත්ත නිපාත)
මස් මාංස පරිභෝගය එදා සිට අද පටන් ම බෞද්ධ, අබෞද්ධ සියළු දෙනාගේ ම විවිධ මත භේදයනට තුඩු දුන් කාරණයක් විය. විශේෂයෙන් ම අවිහිංසාවාදී දහමක් දෙසු තථාගත තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ පිලිබඳව කෙසේ නම් දේශනා කළ සේක් දැ යි, විමසා බැලීම බෞද්ධ ලෝකයාට කරන මහත් වූ සේවයක් ලෙස සළකා ත්‍රිපිටක සද්ධර්මය සහ අටුවා, ටීකා ඇසුරින් මේ පිලිබඳව විමසීමක් කිරීම මෙම ලිපියෙහි අරමුණ යි.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ කැප ලෙස දේශිත “ත්‍රිකෝටික පාරිශුද්ධ මාංස” සහ “පවත්ත මාංස” යන පදයන් පිලිබඳව මුලින් ම අපි අවධානය යොමු කරමු.
පවත්ත මාංශය පිළිබඳ සඳහන් පාඨ අටුවා, ටීකා –
1) විනය පිටක - සාරත්ථදීපනී ටීකා 3 - සීහසෙනාපතිවත්‌ථුකථාවණ්‌ණනා -
“294. පවත්‌තමංසන්‌ති පකතියා පවත්‌තං කප්‌පියමංසං, මූලං ගහෙත්‌වා අන්‌තරාපණෙ පරියෙසාහීති අධිප්‌පායො.”
සිංහල තේරුම -
පවත්තමංස යනු ( ප්‍රකෘතියෙන් ) පියවියෙන් පවත්නා කැප මස්, මුදල් රැගෙන වෙළඳපොළෙහි පර්යේෂණය කරව ( සොයා බලව ) යනු අභිප්‍රායයි.
2) විනය පිටක - විමතිවිනොදනී ටීකා - පඨමසඞ්‌ඝභෙදසික්‌ඛාපදවණ්‌ණනා -
“පවත්‌තමංසන්‌ති ආපණාදීසු පවත්‌තං වික්‌කායිකං මතමංසං.”
සිංහල තේරුම -
පවත්තමංස යනු වෙළඳපොළවල් වල විකිණීම පිණිස පවත්නා මළ සතෙකුගේ මස්.
3) දීඝ නිකාය - මහාවග්ග ටීකා - කම්‌මාරපුත්‌තචුන්‌දවත්‌ථුවණ්‌ණනා -
“189. සූකරමද්‌දවන්‌ති වනවරාහස්‌ස මුදුමංසං. යස්‌මා චුන්‌දො අරියසාවකො සොතාපන්‌නො, අඤ්‌ඤෙ ච භගවතො, භික්‌ඛුසඞ්‌ඝස්‌ස ච ආහාරං පටියාදෙන්‌තා අනවජ්‌ජමෙව පටියාදෙන්‌ති, තස්‌මා වුත්‌තං ‘‘පවත්‌තමංස’’න්‌ති.”
සිංහල තේරුම -
සූකරමද්දව යනු කැලෑ ඌරෙකුගේ මෘදු මස්. යම් සේ අන්‍යයයෝ ද සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් වූ චුන්ද සේ, භාග්‍යවතුන් වහන්සේට ද භික්ෂූ සංඝයා වහන්සේලාට ද ආහාර පිළියෙල කරන්නේ නිවැරදි ආකාරයෙන් ම පිළියෙල කරත්. එහෙයින් පවත්තමංස යනුවෙන් කියන ලදී.
4) ඛුද්දක නිකාය - උදාන අට්ඨකතා - චුන්‌දසුත්‌තවණ්‌ණනා -
‘සූකරමද්‌දවන්‌ති සූකරස්‌ස මුදුසිනිද්‌ධං පවත්‌තමංස’න්‌ති මහාඅට්‌ඨකථායං වුත්‌තං.
සිංහල තේරුම -
“සූකරමද්දව යනු ඌරෙකුගේ මෘදු සිනිඳු පවත්නා මස්”යි මහා අට්ඨකථාවෙහි කියන ලදී.
5) අංගුත්තර නිකාය - අට්ඨක නිපාත අට්ඨකතා - සීහසුත්‌තවණ්‌ණනා -
“පවත්‌තමංසන්‌ති පකතියා පවත්‌තං කප්‌පියමංසං මූලං ගහෙත්‌වා අන්‌තරාපණෙ පරියෙසාහීති අධිප්‌පායො.”
සිංහල තේරුම -
පවත්තමංස යනු ( ප්‍රකෘතියෙන් ) පියවියෙන් පවත්නා කැප මස්, මුදල් රැගෙන වෙළඳපොළෙහි පර්යේෂණය කරව ( සොයා බලව ) යනු අභිප්‍රායයි.
6) විනය පිටක - මහාවග්ග අට්ඨකතා - ගුළාදිඅනුජානනකථා -
“280. පවත්‌තමංසන්‌ති මතස්‌ස මංසං”
සිංහල තේරුම -
“පවත්තමංස යනු මළ සතෙකුගේ මස්”
පවත්ත මාංශය පිලිබඳ ව සඳහන් වන සූත්‍රයකි අංගුත්තර අට්ඨක නිපාතයේ එන “සීහසේනාපති සූත්‍රය”.
මෙහි නිගණ්ඨනාථපුත්‍රයන්ගේ ප්‍රධාන දායකයෙකු වන සීහ සෙන්පති සම්බුදු රජාණන් වහන්සේ හමුවේ ධර්මය ශ්‍රවණය කර සෝවාන් මාර්ගයෙහි පිහිටියේ පසු දින දානය පිණිස බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ආරධානා කර, දානය පිළියෙළ කරනු සඳහා ඔහුගේ අතවැසියෙකු අමතා “යන්න, ගොස් පවතින මාංශයක් ගෙන එන්න” යි පැවසී ය.මෙහි පවතින (පවත්ත) මාංශය යන්න පිලිබඳ විවරණ ඉහත දී දැක්විණ.
මස් ද ගෙන අවුත් දානය පිළියෙළ කරන සීහ සෙන්පතිට එ දින නොයෙකුත් වීථීන් හි නිගණ්ඨයින් “අද සීහ සෙන්පති විශාල සිවුපාවෙක් මරා බුදුන් වළඳවයි” යනුවෙන් හඬ නගා පවසන බවට අසන්නට ලැබිණ. සීහ සෙන්පති එ විට පැවසුවේ “එයින් කමක් නැත. බොහෝ කලක් ම ඒ ආයුෂ්මත්හු බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවනේ නුගුණ ම කැමති වූ හ. ඔවුහු භාග්‍යවතුන් වහන්සේට අසත්‍යයෙන්, අභූතයෙන් කරන චෝදනාවන්හි නිමක් ද නැත. අපි ජීවිතය ගිය ද දැන දැන සතෙකුගේ දිවි තොර නො කරමු.” යන්නයි.
මෙම කතා පුවත මෙතැනින් අංගුත්තර නිකායෙහි නිමා වුවද, ඉතිරිය නැවත විනය, මහාවග්ග පාළියේ, භේස්සජ්ජක්ඛන්ධකයේ, සීහ සේනාපති වග්ගයේ දක්නට ලැබේ.
නිගණ්ඨයින්ගේ මෙම කතාව අරභයා සම්බුදු රජාණන් වහන්සේ පසුව “මහණෙනි දැන දැන තමන් උදෙසා කළ මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි තමන් විසින් නො දුටු, නො ඇසු, සැක නො කළ ත්‍රිකෝටිපාරිශුද්ධ මත්ස්‍ය-මාංශය අනුදනිමි.” යි වදාළ සේක.
මෙහි විමසිය යුතු ප්‍රධාන කරුණු දෙකකි. –
01. සීහ සේනාපති පවත්ත මාංශය (කඩපිලෙහි පවතින මස්) පිළිගැන්වීම සහ තමන් දැන දැන කිසිදු සතෙකු නො මරණ බව කරන ප්‍රකාශය.
02. සම්බුදු රජාණන් වහන්සේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුදැනීම.
මාර්ග ඵල ලාභී (සෝවාන්) සීහ සේනාපති සත්ත්ව ඝාතනය නො කරන බව ස්ථීර වශයෙන් ම කිව හැක. එසේ නම් සත්ත්ව ඝාතනයක් වක්‍රාකාරයෙන් හෝ සිදු වන බව හෝ දනී නම් හෝ ඊට අනුබලයක් හෝ වන බව දනී නම් “පවත්ත මාංශය” රැගෙන ඒම සඳහා කිසිවෙකු පිටත් කර යවනුයේ ද නැත.
දෙවනු ව සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැනි සර්වඥතාඥාන, චතුර්යෝනිපරිඡේද ඥාන, ෂඩ් අසාධාරණ ඥාන, අනාගතංශ ඥාන, ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාන, අනාවරණ ඥාන ආදී මෙකී නොකී විවිධ ඥානයන්ගෙන් සන්නද්ධ වූ, අසමසම උත්තමයෙක් සිය සර්වඥතා ඥානයෙන් පිරිසිඳ නො දැන කිසිදු කාරණයක්, නීතියක් නො පණවන බව සක් සුදක් සේ පැහැදිළි ය. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය හෝ පවත්ත මාංශය සත්ත්ව ඝාතනය වෙනුවෙන් කෙසේ හෝ අනුබලයක් ලබා දෙනුයේ නම්, ඒ වෙනුවෙන් ප්‍රථමයෙන් ම එරෙහි වනුයේ භාග්‍යවතුන් වහන්සේ ම ය.
සංඝයා වහන්සේට පොළොව කැණීම පවා විනය නීති පණවා තහනම් කළ භාග්‍යවතුන් වහන්සේ (පාචිත්තිය පාලි - පඨවිඛණන ශික්ෂාපද), ගිහියන් හට එසේ නො කළ සේක. පස් කණින එක් එක් උදැලි පහරක් ගානේ කැපෙන පණුවන්, සහ වෙනත් කෘමීන් ජීවිතක්ෂයට වන බව දැන දැනත් ගිහියන් වෙනුවෙන් එවැනි සික පදයක් නො පැනවුයේ මන්දැයි බුදු නුවණට මිස අන් කිසි අයෙකුට නො වැටහීම පුදුමයක් නො වේ. පංච ශීලයේ ප්‍රථම සික පදය ප්‍රාණඝාතයෙන් වෙන් වීම ලෙස දැක්වූ භාග්‍යවතුන් වහන්සේ, මස් මාංශ කෑමෙන් වැළකීමේ සික පදයක් නො පැණවුයේ මන්දැයි වැටහෙනුයේ ද බුදු නුවණට ම ය.
තව ද මජ්ඣිම නිකායේ, මජ්ඣිම පණ්ණාසකයේ, “ජීවක සූත්‍රයේ” ද ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ගැන සඳහන් වේ. එහි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුදක්නා සම්මා සම්බුදු රජාණෝ, “තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු උදෙසා පර පණ නසන යමෙකු වෙත් නම් ඔහු කරුණු පසෙකින් බොහෝ පවු රැස් කරනා බව” ද දක්වා ඇත්තාහ. මුලින් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුදත් භාග්‍යවතුන් වහන්සේ පසුව එම සූත්‍රයේ ම “තමන් උදෙසා පර පණ නැසීම” නිසා කරුණු පසෙකින් බොහෝ පවු රැස් කරගැනීම ගැන වදාළේ මක් නිසා ද.? තමන් හේතු කොට “නො ගෙන” සිදුවන ප්‍රාණඝාත නිසා තමන්ට පාපයක් සිදු නො වන බැවිනි. ඒ මාංස අනුභවය ද කිසි දු පාපයකට ලක් වීමක් නො වන බැවිනි. නො එසේ නම් සියල්ල දත් සර්වඥ තථාගත තිලෝගුරු සම්බුදු රජාණන් වහන්සේ ඒ නො දුටු නිසා නො වේ.
මෙහි ප්‍රාණඝාත නො කර, කැප වූ මාංස අනුභව කළ නො හැකි නම් භාග්‍යවතුන් වහන්සේ ඉහත පරස්පර ලෙස පෙනෙන ප්‍රකාශයක් ඉදිරපත් කරන්නේ ද..? නො කරන්නේ ම ය. එබැවින් ප්‍රාණඝාතයත්, පවත්ත මාංසයත් දෙකක් ලෙස දකිත්වා.
කර්මානුරූපිව ඉපිදෙන, මියෙන, ඒ ඒ අකුසලයට ඒ ඒ විපාක විඳින සත්ත්වයෝ ගැන
මැනවින් දත් භාග්‍යවතුන් වහන්සේ ත්‍රිකෝටික පාරිශුද්ධි මාංශය හෝ පවත්ත මාංශය අනුදත්හ.
එසේ ම සමහරෙක් මෙවැනි සික පද පණවා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය හෝ පවත්ත මාංශය පිළිගැනීම සංඝයාට හැර ගිහියනට අකැප දැයි විමසීමට පිළිවන. ඊට කදිම නිදසුනක් පෙළෙහි දැකිය හැක. ඒ අංගුත්තර පංචක නිපාත, මුණ්ඩරාජ වග්ගයේ එන “මනාපදායී සූත්‍රය” යි. අනාගාමී ආර්යයන් වහන්සේ නමක් වූ උග්‍ර (උග්ග) ගෘහපති සිය මනාප දෑ දන් දීම ගැන කියවෙන මෙම සූත්‍රයේ තමන්ට මනාප වූ භෝජනයක් වන එක් හැවිරිදි වූ ලපටි ඌරෙකුගේ මස් භාග්‍යවතුන් වහන්සේට පිළිගන්වයි. භාග්‍යවතුන් වහන්සේ ද අනුකම්පා පිණිස එය පිළිගත්හ.
පසුකලෙක කලුරිය කළ උග්ග ගෘහපති ශුද්ධාවාස බ්‍රහ්ම තලයක ඉපිද, භාග්‍යවතුන් වහන්සේ දැකීම සඳහා ඒ ප්‍රදේශය ම ඒකාලෝක කරමින් සැවැතෙහි ජේතවනාරාමයට පැමිණි කල භාග්‍යවතුන් වහන්සේ, තමා මනාප දෑ දී මනාප දැයක් ම ලැබුවේ දැ යි විමසනු ලැබුයේ, එසේ තමා මනාප දැයක් ම හෙවත් අරහත්වය ලැබූ බව උග්ග ගෘහපති (බ්‍රහ්මයා) පැවසූ බව පෙළෙහි සඳහන් වේ. (සූත්‍රයේ උග්ග ගෘහපති අර්හත්වය ලැබූ බව සඳහන් නො වුනත්, අටුවාවේ ඒ බව මෙසේ සඳහන් කෙරේ.)
“යථාධිප්‌පායොති යථාජ්‌ඣාසයො. ඉමිනා කිං පුච්‌ඡති? තස්‌ස කිර මනුස්‌සකාලෙ අරහත්‌තත්‌ථාය අජ්‌ඣාසයොඅහොසි, තං පුච්‌ඡාමීති පුච්‌ඡති. දෙවපුත්‌තොපි අරහත්‌තං පත්‌තතාය තග්‌ඝ මෙ භගවා යථාධිප්‌පායොති ආහ.”
- මනාපදායීසුත්‌තවණ්‌ණනා
ගිහි අනාගාමී ආර්යයන් වහන්සේ නමක් සිය ප්‍රිය මනාප භෝජනයක් වන ලපටි ඌරෙකුගේ මස් අනුභව කිරීම ප්‍රාණඝාත අනුබලයක් වේ නම් කිසි ලෙසකත් එසේ නො කරන බව තේරුම් ගත යුතු ය. එසේ ම එය වරදක් නම් එය පිළිගනු ලබන භාග්‍යවතුන් වහන්සේ හෝ උග්ග ගෘහපති හට එය තේරුම් කර දිය යුතු ය.
එසේ ම, මාංශ පරිභෝජනයෙන් ලෙඩ රෝග සෑදේ හෝ ආයුෂ අඩු වීමට හේතුවක් වේ යනු ද සමහරෙක් පැවසිය හැක. මේ සඳහා ද පිළිතුරු ද පෙළෙන් හමු වේ.
ඛුද්දක නිකාය, සුත්ත නිපාතයේ එන “බ්‍රාහ්මණධම්මික සූත්‍රය”ට අනුව ලොව ප්‍රථම පශු වධය (සත්ත්ව ඝාතනය) හේතු කොටගෙන කලින් රෝග තුනක් පමණක් පැවැති (ආශාව, කුසගින්න සහ ජරාව යන රෝග තුන) මිනිස් ලොව රෝග, අනු අටකට වැඩි වූ බව මෙසේ දක්වා ඇත.
‘‘තයො රොගා පුරෙ ආසුං, ඉච්‌ඡා අනසනං ජරා;
පසූනඤ්‌ච සමාරම්භා, අට්‌ඨානවුතිමාගමුං.”
- බ්‍රාහ්මණධම්මික සූත්‍රය
මෙහි “පසූනඤ්‌ච සමාරම්‌භා” ලෙස දක්වා ඇත්තේ “පශු වධය” යි.
එසේ ම භාග්‍යවතුන් වහන්සේ විනය, පාචිත්තිය පාලි, භික්ඛුඛන්ධක, භෝජන වග්ගයේ “පණීතභෝජන ශික්ෂාපදයේ” දක්වන පරිදි ප්‍රණීත භෝජන වනුයේ “ගිතෙල්, වෙඬරු, තල තෙල්, මී, උක්සකුරු, දියමස්, ගොඩමස්, කිරි සහ දී යන භෝජන වර්ග නවය යි. මෙහි දියමස් සහ ගොඩමස් ප්‍රණීත භෝජනයන් ලෙස දක්වා ඇති සැටියෙන් ම භාග්‍යවතුන් වහන්සේ මාංස අනුභවය කෙතරම් උසස් භෝජනයක් ලෙසින් සැලකූ බව පැහැදිළි වේ. මාංස අනුභවයෙන් ලෙඩ රෝග සෑදෙනුයේ නම් ඒවා වැළඳීම කෙසේ වෙතත් නො වැළඳීම සඳහා සික පද නම් පණවනු ඇත. ලෙඩ රෝග වැළඳීම සිදුවනුයේ මාංස අනුභවයෙන් නොව, සත්ත්ව හිංසාව නිසා බව භාග්‍යවතුන් වහන්සේ “චුල්ලකම්මවිභංග සූත්‍රයේ” දී විස්තර කරන සේක.
එසේ ම මාංස අනුභවයෙන් ආයුෂය අඩු වන බවට ශාක්ෂ්‍ය පෙළෙන් සොයාගත නො හැකි වේ. ඒ වෙනුවට දීර්ඝායුෂ්ක කාලවල මිනිසුන් පවා මාංස අනුභවය කළ බව නම් අපදාන පාලියෙහි ඇති “සුචින්තිතථෙරාපදානයෙන්” සහ “ද්විරතනීයථෙරාපදානයෙන්” පෙනේ. (මෙම මූලාශ්‍ර මෙම ලිපියෙහි අග අමුණා ඇත)
සුචින්තිත තෙරුන් එ කල වැද්දෙකු වී “අත්ථදස්සී සම්බුදු රජුන්” හට තිත්මුවෙකු මරා මස් දන් දුනි. එ කල අත්ථදස්සී සම්බුදු රජුන්ගේ ආයුෂය අවුරුදු ලක්ෂයකි. එසේ ම ද්විරතනීය තෙරුන් ද එ කල මුව වැද්දෙකු වී “විපස්සී සම්බුදු රජුන්” හමුවේ මස් දන් දුනි. විපස්සේ භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂය අවුරුදු අසූ දහසෙකි. එ අනුව ලොව දීර්ඝායුෂ්ක කාල වල දී පවා මාංස පරිභෝජනය වෙනසක් නැතිව සිදු වූ බව ත්‍රිපිටකයෙන් පෙනේ.
එසේ ම සියලු ම සම්බුදු රජාණන් වහන්සේලාගේ පරිනිර්වාණ දින වළඳන භෝජනය “මාංස භෝජනයක්” බව, “බුද්ධ වංශ පාලියේ” බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයේ “සංඥාපනයේ” සඳහන් වේ. මෙමඟින් සියලු ම බුද්ධ ශාසන වල ආයුෂය කොපමණ වුවත් නිරපේක්ෂව ම මාංස පරිභෝජනය සිදු වී ඇති බව පැහැදිළි ය. (මෙම මූලාශ්‍රය ලිපිය අග දැක්වේ).
මාංස පරිභෝජනය කරන අනුපාතයට සරිලන ලෙස සත්ත්වයෝ ඝාතනය වන බව ද විවිධ අය පවසති. මෙහිලා ද පැවසිය යුත්තේ ඔවුනට පෙනෙන දෙය සම්මා සම්බුදු රජාණන් වහන්සේ ද කලින් ම දුටු බව යි. එය විනිවිද දුටු බුදු නුවණින් ම පවත්ත මාංශය සහ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුමත කළ සේක. ලොව විද්‍යමාන වන නවීන විද්‍යාවෙන් හෝ ආර්ථික න්‍යායන්ගෙන් සත්ත්වයාගේ කර්මය පිලිබඳ හෝ සාදාචාරාත්මක තීරණ ගත නො හැක. එය සම්බුදු නුවණ, ප්‍රඥාව අවතක්සේරු කිරීමකි. අපට තේරෙන පරිදි සරල ලෙස දැක්විය හැකි උදාහරණය නම්, ලෝ පුරා සංචාරය කරන්නෙකු එක් රටෙකින් බැංකුගත කරන මුදල්, වෙනත් රටෙකින් ලබාගැනීම වැනි ක්‍රියාවකි. කර්මය වනාහි භවයෙන් වැසී ඇති බැවින්, මූල කර්මය විද්‍යමාන නො වේ, එහෙත් විපාකය පමණක් ප්‍රකට ය.
යමෙකු සංසාරයේ කරන විවිධ කර්මයන්ගේ විපාක එක ම භවයක දී විපාක දී අවසාන වනුයේ ද නැත. එහි අවශේෂ විපාකයන් ඉදිරි භවයන් හි නොයෙකුත් ආකාරයෙන් සුදුසු පරිදි විපාක දීමට යෙදේ. ඉහත උදාහරණයේ අප ඉදිරිපත් කළ සංචාරකයා වෙනත් රටවල් වල දී කලින් තැන්පත් කළ මුදල් නැවත ලබා ගන්නාක් මෙනි. එක ජීවිතයක දී කරන ලද කර්මය වෙනත් ජීවිතවලදී විපාක දීම මෙම යුගයේ ඉතා දියුණු යැයි සම්මත විද්‍යා, ශාස්ත්‍ර සහ ගණිත ක්‍රමයන්ගෙන් පැහැදිලි කළ නො හැක. මෙම සත්‍යය විනිවිද දැකීමට සමත් බුදු නුවණ මඟින් “පවත්ත මාංශය” සහ “ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය” අනුදැක්කේ නම්, පරිපූර්ණ නො වූ නූතන විද්‍යා, ශාස්ත්‍ර සහ ගණිත ක්‍රම උපයෝගී කරගනිමින් “මාංශ අනුභවය කිරීමේ දී, සත්ත්ව ඝාතනය ඊට සමානුපාතික වේ යයි කීම” බුද්ධිගෝචර නො වූ කියමනකි. විශේෂයෙන් ම තිසරණයේ පිහිටි බෞද්ධයින් හට එය සුදුසු ම නො වේ. එය නවීන විද්‍යාව සහ අර්ථ ශාස්ත්‍ර ක්‍රම හමුවේ සම්බුදු දහමට නිගා කිරීමක් හා සමාන ය.
භාවනානුයෝගීන් විශේෂයෙන් ම ශාඛමය ආහාර වැළඳිය යුතු බවත්, නො එසේ නම් මතු ලැබිය හැකි මාර්ගයන්ට බාධා විය හැකි බවත් සමහරු පවසන බව ඇසේ. ඛුද්දක නිකායේ, විමාන වත්ථුවේ, “කර්කටකරසදායක” විමාන වස්තුව කියවන අයට මේ ගැටලුව විසඳාගත හැක. (මෙම කතා වස්තුව ද මේ ලිපිය අග අමුණා ඇත). එක්තරා භික්ෂුවක් බලවත් වූ කණේ අමාරුවකින් පෙළෙන බැවින් විදර්ශනා භාවනාව සඳහා සිත එකඟ කරගත නො හී ඒ බව සම්මා සම්බුදු රජාණන් වහන්සේට දන්වන කල, එයට ප්‍රතිකාර බලන භාග්‍යවතුන් වහන්සේ ගේ නුවණැසට කකුළු මස් වලින් එම රෝගය විසඳෙන බව පෙනී, කකුළු මස් පිළියෙළ කරන ගෙයක් ඇති වීදියෙක පිඬු පිණිස හැසිරෙන ලෙස භික්ෂුවට නියෝග කළ හ. කකුළු මස් භෝජනය පිණ්ඩපාතය ලෙස ලබන භික්ෂුන් වහන්සේ එය වළඳා අවසාන වන්නටත් ප්‍රථමයෙන් සියලු කෙලෙස් සිඳ අර්හත්වය ලබති. මාංස අනුභවය මාර්ග ඵලයන් ආවරණය නො කරන බව සනාථ කෙරෙන කතා පුවතක් ලෙස මෙය හැදින්විය හැක.
එසේ ම යමෙකු දිව පිනවීමේ අරමුණින් පමණක් ම මාංස භෝජනයට ලොබ වන බව පැවසිය හැක. භාග්‍යවතුන් වහන්සේ ද සිය භෝජනයේ “රස විඳිමින්, රස රාග නො විඳිමින්” වැළඳු බව (“රසපටිසංවෙදී ඛො පන සො භවං ගොතමො ආහාරං ආහාරෙති, නො ච රසරාගපටිසංවෙදී”) මජ්ඣිම නිකාය, මජ්ඣිම පන්නාසකයේ, “බ්‍රහ්මායු සූත්‍රයේ” දැක්වේ. භෝජනයක රස විඳීමක් නැතැ යි පැවසීම මහා මුලාවෙකි. එහි නො ඇලී වැළඳීම පමණක් සිදු කළ යුතු ය.
මාංස ආහාර ගැනීම පසෙක තබා ශාඛමය ආහාර පමණක් ගන්නේ නම් මේ කිසි ගැටළුවක් නැතැ යි යමෙක් තර්ක කළ ද හැක. සරල පිළිතුර නම් මාංස ආහාරය සැකසීමට වඩා වැඩි ප්‍රාණඝාතයක් ශාඛමය ආහාර වෙනුවෙන් සිදු වී ඇති බව යි. බත සකස් කිරීම සඳහා, පොලොව කෙටීම්, පොළොව සකස් කිරීම් සඳහා නගුල් ගැසීම් ආදිය නිසා මිය යන පණුවන් සහ වෙනත් කෘමීන් ආදී අනන්ත වූ ප්‍රාණඝාතය ද කෘමී නාශක ඉසීම් නිසා මිය යන අනන්ත වූ කෘමී සතුන් ආදිය ගැන ද සළකා බලන කල තමන් අනුභව කරන එක් එක් බත් පිඬක් පිඬක් ගානේ අකුසල් සිදු විය යුතු ය. එළවලු සහ පලතුරු ගැන ද කරුණු මෙසේ ම ය.
මේ ගැන සඳහන් වන අනගි සූත්‍රයක් ඛුද්දක නිකාය, සුත්ත නිපාතයෙන් හමු වේ. ඒ “ආමගන්ධ සූත්‍රය” යි. මස් නො වළඳන, ශාඛමය ආහාර පමණක් වළඳන ආමගන්ධ බ්‍රාහ්මණයා සම්බුදු රජුන් හමුවේ “ආමගන්ධය වළඳන්නේ දැ?” යි විමසු කල, “පෙරත් ඔබ සේ ම බමුණෙක් සම්බුදු රජුන් හමුවේ විමසන ලදැ” යි වදාරා පෙර පවත් දක්වන ලදී. (මේ ගැන විස්තර එන්නේ ආමගන්ධ සූත්‍ර අටුවාවේ ය, එය පහත අමුණා ඇත). කාශ්‍යප සම්බුදු රජුන් හමුවේ ආමගන්ධය වළඳන්නේ දැ යි විමසු තිස්ස බ්‍රාහ්මණයාගේ සැක නැති කිරීම පිණිස ඔහු බලා සිටිද්දී ම භාග්‍යවතුන් වහන්සේ මස් කැබැල්ලක් සිය මුවේ රුවා ගැනීමක් ගැන සිදුවීමක් එහි සඳහන් වේ. පසුව “නිර්මාංශ වීම” පිරිසිදු වීම සඳහා හේතු සාධක නො වන බව වදාරා, මස් වැළඳීම ආමගන්ධය නො වන බව කස්සප භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. මෙම සූත්‍රය සහ එහි අටුවාව වඩා වැදගත් වනුයේ කරුණු කිහිපයක් නිසා ය.
01. නිර්මාංශ ආහාර වැළඳීම පාරිශුද්ධත්වයට කිසි සේත් ම අදාළ නො වීම.
02. මාංශ ආහාර ගැනීමෙන් අපරිශුද්ධතාවයක් ඇති නො වීම.
03. නිර්මාංශ ආහාර ගැනීමෙන් පාරිශුද්ධත්වය බලාපොරොත්තු වීම වනාහි, මිථ්‍යා වෘතයන් අනුගමනය කරන මිථ්‍යාදෘෂ්ටිකයින්ගේ උත්සාහයන් හා සමාන ක්‍රියාවක් බව හුවා දැක්වීම.
04. භාග්‍යවතුන් වහන්සේ මෙම මාංස ආහාර කැප යයි වදාරනුයේ බුද්ධ සහ සංඝ දෙපාර්ශවයට පමණක් නො ව, ගිහි පාර්ශවය සඳහා ද වන බව, යන වැදගත් වූ සාධක කිහිපයක් නිසා ය.
තව ද මෙම මාංස ප්‍රශ්නය පිලිබඳව දේවදත්ත තෙරුන් භාග්‍යවතුන් වහන්සේගෙන් වර පස ඉල්ලන කල (විනය, චුල්ල වග්ග පාලිය, සංඝභේදකක්ඛන්ධය), දෙව්දත් තෙරුන් “භික්ෂුහු දිවි හිමියෙන් දියමස්, ගොඩමස්, කෑයේ නම් වරද ස්පර්ශ කළේ වේ” යනුවෙන් පස්වැනි වරය ඉල්ලු කල භාග්‍යවතුන් වහන්සේ, “තමා උදෙසා මරණ ලදැ යි නො දුටු, නො ඇසු, සැක නො කළ යන ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය මා විසින් අනු දක්නා ලදී” යි වදාළ සේක. මෙසේ මාංස අනුභවය හෝ නො කිරීම සිය අභිමතය පරිදි සිදු කිරීමත් ඒ සම්බන්ධයෙන් කිසි දු දැඩි මතයක් සම්බුදු රජාණන් වහන්සේ නො දැරූ බවත්, මෙයින් සනාථ වේ.
කැමති අය මාංස අනුභවය, හෝ අකමැති අය අනුභව නො කිරීම පිලිබඳ ව ගැටලුවක් නැත. ගැටලුව ඇති වනුයේ මාංස අනුභවය හෝ නො කිරීම පිලිබඳ ව දෘෂ්ටිවාදී ව කටයුතු කිරීමෙනි. විශේෂයෙන් ම මාංස අනුභවය අනුදැන ඇති භාග්‍යවතුන් වහන්සේ, නිර්මාංශ වීමෙන් පාරිශුද්ධත්වයට පත් නො වන බව අවධාරණය කළ සේක. එ බැවින් නිර්මාශිකයෝ කැමැති නම් ඉදිරියටත් නිර්මාංශී වෙත්වා.! නමුත් පුහු මාන්නයෙන්, බෞද්ධ පිළිවෙත මෙය යැයි කියමින් මිථ්‍යාදිට්ඨික නො වෙත්වා.!' යි යනු අපගේ පැතුමයි.
ලිපිය අවසානයේ මෙසේ සඳහන් කළ යුතුව ම ඇත.
තිසරණයේ පිහිටීම එතරම් ලෙහෙසි කටයුත්තක් නො වේ. තිසරණයට පැමිණෙන තුරු “කාලාම සූත්‍රය” ආදේශ කරගත හැක. එහෙත් යමෙකු තුන්සරණය තුළ පිහිටි පසු බුදුන්, දහම්, සඟුන් පිලිබඳ ව සැක සංකා නැති විය යුතු ය. සැකයක් ඇති වූ වහාම මතක කරගත යුතු පාඨයකි.
“සත්ථා භගවා, සාවකො හමස්මි. ජානාති භගවා, නාහං ජානාමීති”
“බුදුහු ශාස්තෘ හ, මම ශ්‍රාවක මි. බුදුහු දන්නා සේක. මම නො දනිමි”
- “කීටාගිරි සූත්‍රය” (මජ්ඣිම නිකාය, මජ්ඣිම පන්නාසක)
තෙරුවන් සරණයි..!!!
මෙහි ඉහත සඳහන් කළ සමහරක් සූත්‍ර සහ අටුවා මූලාශ්‍ර පහත ලින්කයන් මඟින් කියවීම හෝ download කරගත හැක.
ආමගන්ධ සූත්‍රය සහ සිංහල අටුවාව -
ජීවක සූත්‍රය සහ සිංහල අටුවාව -
බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය -
කක්කටකරසදායක විමාන වස්තුව -
බුද්ධවංශ පාලියේ සංඥාපනය - ( අට්ඨකථාවෙහි මෙම කරුණු අඩංගුය )
සුචින්තිතථෙරාපදානය සහ ද්විරතනීයථෙරාපදානය -
No comments:
Post a Comment