ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් ග්‍රන්ථ පහ අතරෙන් මජ්ක්‍ධිම නිකායේ ඔපම්ම වග්ගයට අයත් සූත්‍රයක් ලෙස අරිය පරියෙසන සූත්‍රය හඳුනාගත හැකිය. මෙම සූත්‍රය බුද්ධ චරිතය සහ බෞද්ධ දර්ශනයේ මූලික සිද්ධාන්ත හෙළි කරන සුවිශේෂ සූත්‍රයකි. සූත්‍රයේ ආරම්භයේම සඳහන් වනුයේ සූත්‍රය දේශනා කිරීමට පසුබිම් වූ කතා පුවතයි. මේ අනුව භික්ෂුහූ ආනන්ද තෙරුන් හමුවී බුදුරජාණන් වහන්සේගේ් දහම් දෙසුමක් බොහෝ කාලයකින් ශ්‍රවණය කිරීමට නොලැබුණු බවත් ඊට අවස්ථාව සලසා දෙන ලෙසත් ඉල්ලා සිටියහ. සියලුම භික්ෂූන් රම්මකගේ අසපුවට රැස්වන ලෙස ආනන්ද හිමියෝ දැන්වූහ. බුදුන් වහන්සේ පැන් පහසු වූ පසු ආනන්ද හිමියෝ රම්මකගේ අසපුව ගැන වර්ණනාවක් කරති. (රමණියො භනේතෙ රමකස්ස බ්‍රහ්මණස්ස අස්සමො, පසාදිකො භන්තේ රමකස්ස අස්සංමා) මෙලෙස ප්‍රකාශ කර රම්මකගේ අසපුවට වඩින්නේ නම් මැනවැ යි ප්‍රකාශ කරති. බුදුන්වහන්සේ එය නිශ්ශබ්දව පිළිගනිති.
මෙලෙස ආනන්ද තෙරුන් ධර්ම දේශනයේ සම්බන්ධීකරණ කටයුතු කළ පසු බුදුරජාණන් වහන්සේ රම්මතයේ අසපුවට වැඩම කරති.
බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කළින් සූදානම් කළ ඒවා නොවේ. මේ නිසා ඊට පෙර මෙම ස්ථානයේ කරනු ලැබූ කතාව කුමක්දැයි උන් වහන්සේ විමසති. බුදුරජාණන් වහන්සේ ගැන කතා බහ කළ බව භික්ෂූහු ප්‍රකාශ කරති. භික්‍ෂූන් එක්රැස් වූ විට දැහැමි කතාවෙන් යුක්ත විය යුතු බවත්, නොඑසේ නම් නිශ්ශබ්දතාව භජනය කළ යුතු බවත් ප්‍රකාශ කරති.
භික්‍ෂූන් තමන් වහන්සේ ගැන කතා කළ නිසාම උන්වහන්සේ තමා නිර්වාණය සොයා කළ පර්යේෂණය පිළිබඳ කරුණු දක්වයි. ලෝකයේ පර්යේෂණ ක්‍රම දෙකක් තිබේ. එනම් ආර්ය පර්යේෂණ සහ අනාර්ය පර්යේෂණයයි. ප්‍රථමයෙන් අනාර්ය පර්යේෂණ හෙවත් ආර්ය පර්යේෂණ නොවන දේ පිළිබඳ උන්වහන්සේ පැහැදිලි කරති.
සියලු මිනිසුන්ගේ ජීවිත ජාති, ජරා, ව්‍යාධි, මරණ සෝක යන තත්ත්වලට පත්වෙයි. මෙම ලක්‍ෂණ වලින් කිසි පුද්ගලයකුට පලා යා නොහැකිය. මෙලෙස ජාති, ජරා, ව්‍යාධි, මරණ , සෝක යන තත්ත්වවලට පත්වන මිනිසා තවදුරටත් සොයා යනුයේද එම ලක්ෂණම පවතින දේ ය. එනම් අඹු දරුවන් රන් රිදී ඉඩම් කඩම්, යාන වාහන ගෙවල් දොරවල් ආදී දේය. මෙලෙස තාවකාලික සැප ගෙන දෙන දේ සොයා යෑම , අනාර්ය පර්යේෂණයක් ලෙස බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේ දීම වටහා ගත්හ.
ඒ පිළිබඳ අරිය පර්යේෂණ සූත්‍රයේ සඳහන් වෙයි. බෝධිසත්ව අවධියේ සියලුම සැප සම්පත් ප්‍රතික්ෂේප කොට අභිනිෂ්ක්‍රමණයට යොමු වීමට අවශ්‍ය මානසික සැලැස්ම නිර්මාණය වූ ආකාරය බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කරති.
තස්ස මය්හං භික්ඛවෙ එකදෙහොසි, තින්නු ඛො අහං අත්තනා ජාති ධම්මො සමානො ජාති ධම්මඤ්ඤෙව පරියෙසාමි අත්තනා ජරා ධම්මඤෙකව සමානෙ ජාති ධම්මො ආදීනවං විදිත්වා අන්තං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියොසෙය්‍යං ‘
මහණෙනි ඒ මට මේ අදහස විය. කුමක් නිසා මම, තෙමේ ජාති ධර්ම වුයෙම් ජාති ධර්මයක්ම සොයම් ද ? ජරා ධර්‍ම වූයෙම් - ජරා ධර්‍මමයක්ම සොයම් ද? මම ජාති ධර්ම වුයෙම් ජාති ධර්මයේ ආදීනව දැන ජාතියක් නැති, නිරුත්තරවූ යෝග ක්ෂේම වූ නිවන සොයන්නේ නම් මැනවි.
මෙලෙස තමා ද ජාති, ජරා , ව්‍යාධි ආදි දුක්ඛයන්ගෙන් යුක්තව , එබඳු ලක්‍ෂණ ඇති දේම සොයමින් යන මේ නිසරු පිළිවෙත ප්‍රතික්ෂේප කොට ජාති, ජරා, ආදිය පිළිබඳ ආදීනව දැන එබඳු ලක්ෂණ නොමැති නිවන සෙවීම උතුම් බව විමසා ගැනීම අභිනිෂ්ක්‍රමණයට හේතු විය.
නොඑසේ නම් මාලිගාවේ සිරකරුවෙකු මෙන් සිට දෙවියන් මවා දැක්වූ ලෙඩෙක්, මහල්ලෙක්, මළකඳක් පැවිද්දෙක් දැකීමෙන්ම අභිනිෂ්ක්‍රමණය සිදු වූ බව පිළිගැනීම සත්‍යයට සමීප නොවේ. යථා තත්ත්වය නම් කාලයක් සිට ජීවිතයේ ඇති අසතුටුදායක ස්වභාවය සිතීම තුළින් බෝධි සත්වයන් ලබාගත් අවබෝධය අභිනිෂ්ක්‍රමණයට හේතු වූ බවයි.
බුද්ධ චරිතය මෙලෙස යථාර්ථවාදී ලෙස විවරණය කර තිබිය දී බොරු අටෝප සාටෝප වලින් යුත් මනඞකල්පිත බුද්ධ චරිතයක් ගොඩනඟා උන්වහන්සේගේ උතුම් මනුෂ්‍ය ස්වභාවය පරයා අතිමානුෂික දේව ස්වභාවයක් ආරෝපණය කර තිබීම, නුසුදුසු ලක්‍ෂණයකි.
අරියපරියෙසන සූත්‍රයට අනුව බෝධිසත්වයන් වහන්සේ සොයා ගියේ ‘කුසලය කුමක්ද’ යන්නයි. (කිං කුසලගවෙසී) එනම් යහපත, හොඳ, නරක, කුමක් ද යන්න ගවේෂණය කළ බවත්, එය සොයා උතුම් වූ ශාන්ති පදය ලද බවත් (අනුත්තරං, සන්තිවරපදං පරියෙසමාතො) සඳහන් ය. එහෙත් පෙර අපරදිග දාර්ශනිකයන් සොයා ගිය සත්‍ය පිළිබඳ සංකල්ප සිතේ තබාගෙන අදහස් දැක් වූ ඇතැම් දෙනා, ත්‍රිපිටකයේ සඳහන් නොවන ‘කිං සච්චගවෙසී’ නම් පදයක් නිෂ්පාදනය කොට ජනපි‍්‍රය කරවීය. ඇත්ත වශයෙන්ම බෝධිසත්වයන් වහන්සේ පර්යේෂණ කළේ කුසලය පිළිබඳ ය.
බෝධිසත්ව සමයේ ආචාර්යවරුන් ගැන සඳහන් කරන බුදුහිමියෝ ආලාරකාලාම, උද්දකාරාම පුත්ත යන දෙදෙනා ගැන සඳහන් කරති. සත්‍ය ලෙසම මොවුන් දෙදෙනාම බෝධිසත්ව සමයේ ආචාර්යවරු ද? අරිය පරියෙසන සූත්‍රය මෙයට දක්වන ප්‍රතිචාරය තරමක් වෙනස් ය. ආලාර කාලාම ආචාර්යවරයකු ලෙස සලකා ඇතත්, උද්දකරාම පුත්ත ආචාර්යවරයකු ලෙස එහි සලකා නොමැත. ආලාරකාලාම ගැන සඳහන් වනුයේ මෙසේ ය.
(භික්ඛවෙ, ආලාර කාලාමො ආචරියො මෙ සමානො අනෙතවාසිං මං සමානං අත්තනො සමසෙමං එපෙසි) මහණෙනි, මෙසේ ආළාර කාලාම තෙමේ මට ආචාර්ය වූයේම අතවැසි වූ මා, තමාට සම තැන තැබී ය.
උද්දකාරාම පුත්ත ගැන මෙසේ සඳහන් වෙයි. (භික්ඛවෙ උද්දකාරාමපුත්තෙන සබ්‍රහ්මචාරී මෙසමානො ආචරිංයටථානෙ ච මං එපෙසි) මහණෙනි, මෙසේ රාමපුත්ත උද්දක තෙමේ මාගේ සබ්‍රහ්මචාරී වූයේ මා ඇදුරු තනතුරේ තැබී ය.
බෝධිසත්වයන් වහන්සේ ආලාර කාලාමගෙන් ආකිඤචඤ්ඤායතනය අවබෝධ කරගත් පසු තමාට සමානව ම තබාගෙන දෙදෙනාම එක් වී ගෝලයන් පාලනය කරමු යන්න ආලාර කාලාමගේ අදහස විය. මෙහි මුලින් ආලාරකාලාම තමාගේ ආචාර්යවරයා බව (ආචාර්යො තම) යන පදයෙන් සනාථ වේ. උද්දකරාම පුත්ත ආචාර්යවරයකු ලෙස නොව (සබ්‍රහ්මචාරී මෙ) සමාන ශික්‍ෂා ඇති අයෙකු ලෙස සිටි බවත්, පසුව නේවසඤ්ඤානාසඤ්ඤායතනය අවබෝධ කරගත් පසු උද්දකරාම පුත්ත ඇතුළු සියලු දෙනා තමා ආචාර පදවියෙහි තබා ගරුබුහුමන් කළ බව සඳහන් වීමෙන් ඔහු බෝධිසත්වයන්ගේ ආචාර්යවරයකු නොවූ බව පැහැදිලි වෙයි. එසේම නේවසඤ්ඤානාසඤ්ඤායතනය අවබෝධ කරගෙන තිබී ඇත්තේ උද්දකරාම පුත්තගේ පියා වන රාම විසින් ය. මේ අනුව උද්දකරාම පුත්ත එම ඥානය අවබෝධ කරගත්තකු නොව, තමාගේ පියා සතු ඤාණය පිළිබඳ බෝධිසත්වයන්ට පණිවිඩය දීම පමණක් සිදු කර ඇත. මේ අනුව උද්දකරාම පුත්ත බෝධිසත්වයන්ගේ ආචාර්යවරයකු නොවන බව අරිය පරියෙසන සූත්‍රයට අනුව පැහැදිලි වෙයි.
පසුව බෝධිසත්වයන් වහන්සේ උරුවෙලාවෙහි සෙනානි නියම් ගමට පැමිණ එහි බෝමැඩ වැඩ සිට නිර්වාණය අවබෝධ කරගනියි. පසුව දහම් දෙසීමට පසුබට වූ විට සහම්පති බ්‍රහ්මයාගේ ආරාධනයෙන් ධර්මය දේශනා කිරීමට සුදුස්සකු සොයති. ආළාර කාලාම ද උද්දකරාම පුත්ත මිය ගොස් සිටී හෙයින් පස්වග මහණුන්ට දහම් දෙසීමට බරණැස ඉසිපතනාරාමයට පිටත්ව යයි. එහිදී මුලින් දෙදෙනකුටත්, ඉන් පසු ඔවුන් දෙදෙනා පිණ්ඩපාතයේ යවා අනෙක් තුන්දෙනාටත් ධර්මය දේශනා කොට නිර්වාණ මාර්ගය පෙන්වා දෙයි.
කාම වස්තු ගිහි පැවිදි බෞද්ධයන් විසින් පරිභෝග කළ යුතු ආකාරය දක්වන දර්ශනයක් ද අරියපරියෙසන සූත්‍රයෙහි වෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ආයතනවලින් සතුටින් ගනු ලබන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු කෙලෙසක භුක්ති විඳිය යුතු ද යන්න මෙහිදී සාකච්ඡා වෙයි.
මේ අනුව යම් මහණ කෙනෙක් පස්කම් සැපයෙහි වෙලී මුසපත් වී එහි දොස් නොදැක ප්‍රත්‍යවේක්‍ෂා ඤාණයෙන් තොරව පරිභෝග කරයි නම් ඔහු මරු වසඟයට යයි.
එසේම යම් මහණ බමුණෙක් පස්කම් ගුණයෙහි නො ඇලී මුසපත් නොවී කිඳා නොබැස දොස් දකිමින් නුවණින් මෙනෙහි කරමින් පස්කම් සැප (අගථිතො, අමුව්ජිතො, අනජ්ක්‍ධාපන්නො, ආදීනවදස්සාවී, නිස්සරණපඤ්ඤො) පරිභෝග කරයි නම් එබඳු පුද්ගලයන් පාපී මරු වසඟයට ගත නොහැකි ය.
මෙය බෞද්ධ ගිහියාගේ ද භික්‍ෂූවගේ ද පරිභෝජන දර්ශනය විය යුතු බව කාමභෝගී සූත්‍රයේත්, රාසිය සූත්‍රයේත් දක්නට ලැබීමෙන් සනාථ වෙයි.
මේ නිසා බුදු දහමට අනුව භෞතික සම්පත් පරිහරණය දුකක් වනුයේ, එය පරිහරණය කරන ආකල්පයෙන් බව පැහැදිලි වෙයි.
මෙලෙස අරියපරියෙසන සූත්‍රය බුද්ධ චරිතය පිළිබඳත්, බෞද්ධ ජීවන දර්ශනය පිළිබඳවත් කරුණු දක්වන සූත්‍රයක් ලෙස හඳුනාගත හැකි ය.
No comments:
Post a Comment